ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය


ෆෙඩරල්වාදය යනු ශ්‍රී ලංකාව තුළ මහඟු මතභේදාත්මක කතිකාවකට මාතෘකාවක් වූ දේශපාලනික සංකල්පයක් යැයි පැවසීමෙහි වරදක් මම නොදකිමි. ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්වාදය ගැන ඇතිවන නොයෙකුත් සාකච්ඡා වලදී බෙදුම්වාදය තර්කයක් ලෙස ගෙන ඒම සාමාන්‍ය දෙයකි. ෆෙඩරල්වාදය යන නම ගෑවුණු තැන ඊළාම් සිතියම සිහියට නැගෙන තරමට ෆෙඩරල්වාදය හා බෙදුම්වාදය අතර සම්බන්ධතාවයක් දකින්නට නොයෙකුත් සංකීර්ණ මෙන්ම සාධාරණ හේතු තිබෙන බව මම පිළිගනිමි.

ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලනික අවකාශයේ ටැබූ මාතෘකාවක් වන ෆෙඩරල්වාදය ගැන කෙටි හැඳින්වීමක් දෙමින් ෆෙඩරල්වාදී පාලන ක්‍රමවේදය සාපේක්ෂව බෙදුම්වාදය හට වැඩි ඉඩ කඩක් දිය හැකි ද යන්න මෙම ලිපිය මඟින් සාකච්ඡා කිරීම මාගේ අරමුණයි.

ෆෙඩරල්වාදය - හැඳින්වීමක්

ෆෙඩරල්වාදය යනු ආණ්ඩු වර්ග දෙකක් සම්මිශ්‍ර වූ පාලන ක්‍රමවේදයකි. එම ආණ්ඩු වර්ග දෙක නම්:

  1. "මධ්‍යම" හෝ "ෆෙඩරල්" ආණ්ඩුව   සහ
  2.  ප්‍රාන්ත හෝ වෙනත් ප්‍රාදෙශීය ආණ්ඩු

ෆෙඩරල් පාලන ක්‍රමවේදයක මූලික අංගය වන්නෙ මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු අතර නීතිමය වශයෙන් බෙදී ගිය බලතල යි. එමඟින් මධ්‍යම ආණ්ඩුවෙ මැදිහත්වීමකින් තොර ව ප්‍රාන්ත ආණ්ඩුවකට තම පාලන ප්‍රදේශය හැකි තරම් පවත්වාගැනීමට හැකි වීම අපේක්ෂා කෙරේ.මෙමඟින් නීති සම්පාදනය, ඉඩම් හා පොලිස් බලතල අදාළ ප්‍රාන්ත ආණ්ඩු හට ලැබීම සාමාන්‍ය කාරණයකි.

ෆෙඩරල් පාලන ක්‍රමවේදයක සාර්ථක පැවැත්මට ප්‍රාන්ත රජයන් සහ මධ්‍යම රජය අතර ආර්ථික සහ දේශපාලනික බලතල බෙදීම පිළිබඳව පැහැදිලි එකඟතාවයක් තිබිය යුතු වේ. සාමාන්‍යයෙන් මෙය තීරණය වන්නේ ෆෙඩරල් රටක ව්‍යවස්ථාව මඟිනි.

බොහෝ ෆෙඩරල් පාලනයන්හි මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු අතර වගකීම් බෙදී යාම සිදුවන්නේ එකඟතා ගිවිසුම් මත ය.

ෆෙඩරල් රාජ්‍යයන්හි පොදු ලක්ෂණ

ව්‍යවස්ථාවේ ආධිපත්‍යය (Supremacy of the Constitution)

මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුවක් අතර සියලු වගකීම් සහ බලතල පැහැදිලි ලෙස බෙදෙන්නේ ව්‍යවස්ථාව මඟිනි. මෙමඟින් ඉහත ආණ්ඩු දෙවර්ගය තම කාර්යයන් ඉටු කරද්දි බලතල පිළිබඳව ඇති විය හැකි ගැටලු බොහෝ දුරකට අවම වේ.

ව්‍යවස්ථාවේ ආධිපත්‍යය යනු ව්‍යවස්ථාව, හෙවත් නීතිය, යම් රාජ්‍යයක පරම පාලකයා වීමට තරම් ශක්තිමත් වීමයි. ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම ට සහ එය පහසුවෙන් සංශෝධනයට ලක් කිරීම ට ඇති ඉඩකඩ අවම කිරීම මඟින් ව්‍යවස්ථාවක් ශක්තිමත් කළ හැක. එමෙන්ම ව්‍යවස්ථාවෙහි සංශෝධනය පිළිබඳව වගකීම් දරන අදාළ ආයතනය හැකි තරම් අපක්ෂපාතී සහ ස්වාධීන එකක් වීම ද වැදගත් ය.

අධිකරණයේ ස්වාධීනත්වය (Independence of the Judiciary)

ඕනෑම රටක පවත්නා නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධයෙන් අර්ථ පහදා දෙන්නෙ අධිකරණයයි. ෆෙඩරල් රටක ප්‍රාන්ත රජයන් සහ මධ්‍යම රජය අතර ඇතිවිය නෛතික ගැටලු නිරාකරණය කිරීම මෙන්ම ව්‍යවස්ථාව උල්ලංඝනය වීම වැළැක්වීම සඳහා ස්වාධීන අධිකරණ පද්ධතියක පැවැත්ම අත්‍යාවශ්‍ය වේ.

බලය බෙදී යාම (Distribution of Powers)

මධ්‍යම හෝ ෆෙඩරල් ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුවක් අතර පැහැදිලි බල බෙදීමක් තිබීම අනිවාර්ය වේ. මා දන්නා තරමින් මෙම බලය බෙදීම ගැන ස්ථිර ක්‍රමවේදයක් දේශපාලන විද්‍යාවේ අදහස් නොවේ. එනමුත් සරලව ගත් කල මුළු රටටම පොදුවෙ බලපාන කටයුතු සම්බන්ධයෙන් ෆෙඩරල් රජයටත්, යම්කිසි පළාතකට හෝ ප්‍රාන්තයකට බලපාන කටයුතු සම්බන්ධයෙන් එම ප්‍රාන්තයේ රජයටත් වගකීම් පැවරීම ෆෙඩරල් පාලනයක බලය බෙදීමෙ න්‍යාය වේ.

ලොව පවතින ෆෙඩරල් රාජ්‍යයන් අතරින් ලෝක ප්‍රසිද්ධ ෆෙඩරල් බල බෙදීමෙ මොඩල තුනක් වන ඇමෙරිකානු, කැනේඩියානු සහ ඉන්දියානු මොඩලයන් කෙටියෙන් විස්තර වේ:

  1. ඇමෙරිකානු මොඩලය

      මෙම මොඩලයේ හරය වන්නේ මධ්‍යම ආණ්ඩුව හට මූලික කාර්යභාරයන් කිහිපයක් ව්‍යවස්ථාව මඟින් ලැබීමට ඉඩ සැලැස්වීම සහ ඉතුරු සියලු කාර්යභාරයන්, වගකීම් සහ බලයන් ප්‍රාන්ත ආණ්ඩුවන් සතු වීම  ට ඉඩ සැලැස්වීම ය. මෙම මොඩලය මඟින් මධ්‍යම ආණ්ඩුවෙහි බලය සීමා වන අතර ප්‍රාන්ත ආණ්ඩු          හට වැඩි ස්වාධීන බවක් ලැබේ. මෙම මොඩලයේ අරමුණ ප්‍රාන්ත ආණ්ඩු ශක්තිමත් කිරීම යි.

  2. කැනේඩියානු මොඩලය

     මෙය ඇමෙරිකානු මොඩලයට ප්‍රතිවිරුද්ධ මොඩලයකි. මෙම මොඩලයේ දී ප්‍රාන්ත ආණ්ඩු සතු බලයන්  සහ කාර්යභාරයන් ව්‍යවස්ථාවෙ සඳහන් වන අතර ඉතුරු දෑ සියල්ලම මධ්‍යම ආණ්ඩුව සතු වේ. මෙම මොඩලය මඟින් ප්‍රාන්ත රජයන්හි ස්වාධීන බව සීමිත වන අතර මධ්‍යම ආණ්ඩුවෙ බලය සහ වගකීම් වඩා         වැඩිය. මෙම මොඩලයේ අරමුණ මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීමයි.

  3. ඉන්දියානු මොඩලය

      ඉන්දියානු මොඩලය තුළ ව්‍යවස්ථාව මඟින් මධ්‍යම ආණ්ඩුව සතු බලයන් සහ වගකීම්, ප්‍රාන්ත ආණ්ඩු සතු බලයන් සහ වගකීම් සහ ආණ්ඩු වර්ග දෙකටම පොදු බලයන් සහ වගකීම් ව්‍යවස්ථාව තුළ ලැයිස්තුගත වී ඇත. ප්‍රාන්ත සහ ෆෙඩරල් ආණ්ඩු දෙවර්ගයටම පොදු කාර්යභාරයක ප්‍රමුඛතාවය ලැබෙන්නෙ අදාළ කාර්යභාරය සම්බන්ධ ෆෙඩරල් නීතියට ය.

ද්වී මාණ්ඩලික ව්‍යවස්ථාදායකය (Bicameral Legislature)

යම් රටක ව්‍යවස්ථාදායකය යනු එම රටෙහි නීති සම්පාදනය කරන සහ අනුමත කරන ආයතනයකි. ෆෙඩරල් රටක මෙම ආයතනය සරල වශයෙන් මණ්ඩල දෙකකින් සමන්විත වීම සාමාන්‍ය සංසිද්ධියකි. මෙම මණ්ඩල දෙක සරල වශයෙන් පහත අයුරින් විස්තර කළ හැක:

   1. උත්තර සභාව (Upper House/Senate)

       මෙම සභාවේ සාමාජිකයෝ විවිධ ප්‍රාන්තයන් නියෝජනය කරති. එක් ප්‍රාන්තයකට එක් සාමාජිකයෙක් නියෝජනය වන ආකාරයෙන් හෝ වෙනයම් අනුපාතයකින් මෙම සාමාජිකයන් විසින් අදාළ ප්‍රාන්ත නියෝජනය කරනු ලබයි.

       විවිධ ෆෙඩරල් රටවල් වලින් මෙම සභාව හට විවිධ බලතල ලබා දී ඇත. පොදුවේ ගත හොත් මෙම සභාවෙ ප්‍රධාන කටයුත්ත වන්නේ ප්‍රාන්ත ආණ්ඩු වල මතයන් වෙනුවෙන් පෙනී සිටිමින් අදාළ ප්‍රාන්තයන්හි ගැටලු සහ වෙනත් කටයුතු ගැන පාර්ලීමේන්තුව දැනුවත් කිරීම ය.
     

   2. මහජන මණ්ඩලය (House of Commons)

        මෙම මණ්ඩලයේ සාමාජිකයන් විසින් පොදුවේ මහජනයා නියෝජනය කරනු ලබයි. ඔවුන් කිසිම ප්‍රාන්ත ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී නොසිටියි. බොහෝ ෆෙඩරල් රටවල් වල මෙම මණ්ඩලයේ සාමාජිකයන් පත්වන්නේ මහ මැතිවරණයකිනි.

ෆෙඩරල් රාජ්‍යයක සාර්ථකත්වය

ෆෙඩරල් රාජ්‍යයක සාර්ථකත්වය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන්නේ ව්‍යවස්ථාවේ (හෙවත් නීතියේ) ආධිපත්‍යයයි. ප්‍රාන්ත ආණ්ඩු වල සහ ෆෙඩරල් ආණ්ඩුවෙහි නිසි ක්‍රියාකාරිත්වය සහ මෙම ආණ්ඩු දෙවර්ගය අතර ඇති යහපත් සම්බන්ධතාවය ද ෆෙඩරල් රාජ්‍යයක සාර්ථකත්වයට බලපායි. ෆෙඩරල් ක්‍රමවේදයක බලය විමධ්‍යගත වීම නිසා ප්‍රාන්ත වැනි කුඩා ඒකක හට වඩා නිදහසක් ලැබෙන නමුත් නීතිය ක්‍රියාත්මක කිරීමේදි සහ වෙනත් රාජ්‍ය පරිපාලන කටයුතු වලදී බලය බෙදීම පිළිබඳව සංකීර්ණතා ඇති වේ. මෙම සංකීර්ණතා නීතිමය වශයෙන් විසඳීමට හැකි වීම ෆෙඩරල් රාජ්‍යයක පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය අංගයකි. මෙය සඳහා අධිකරණය ස්වාධීනත්වය සහ නිසි පැවැත්ම අවශ්‍ය වේ.

ෆෙඩරල් රාජ්‍යයක් තුළ බෙදුම්වාදය

බෙදුම්වාදය ගැන හැඳින්වීමක්
දේශපාලනික වශයෙන් බෙදුම්වාදය පොදු වශයෙන් ගත් කල යම්කිසි සමාජ කණ්ඩායමක් හෝ පිරිසක් යම් ප්‍රදේශයක් ස්වාධීන රාජ්‍යයක් සහිත දේශයක් කිරීම හෝ සාපේක්ෂව පරිපාලනය අතින් වඩා ස්වාධීන ප්‍රදේශයක් කිරීම අනුබල කරන මතවාදයකි. බෙදුම්වාදය යම්කිසි සමාජ්‍යයීය හෝ දේශපාලනික අර්බුදයක් උදෙසා විසඳුමක් ලෙස යොදාගන්නා මතවාදයකි.  ලොව පුරා පැවති, සහ පවතින, බොහෝ බෙදුම්වාදී ව්‍යාපාරයන් සහ මතවාද සම්පූර්ණයෙන්ම ස්වාධීන රාජ්‍යයන් හෝ "රටවල්" පිහිටුවීම අවශ්‍යතාවයක් ලෙස දකියි.

ෆෙඩරල් ලොව තුළ බෙදුම්වාදය

ෆෙඩරල් රාජ්‍යයන්හි පැවැති බෙදුම්වාදයන් අතරින් මෑත කාලීන උදාහරණයක් ලෙස ස්පාඤ්ඤයේ පවතින කැටලෝනියානු බෙදුම්වාදය ගත හැක. මෙය ජනවර්ගයක් මත පදනම් ව ගොඩනැඟු බෙදුම්වාදයකි.  ස්පාඤ්ඤ රාජ්‍ය පාලනය ෆෙඩරල් යැයි සඳහන් නොවුවත් ෆෙඩරල් රාජ්‍යයක මෙන් බලතල බෙදී ගොස් ඇත. ප්‍රාන්ත ආණ්ඩු වෙනුවට ස්පාඤ්ඤයේ ඇත්තේ ස්වාධීන ප්‍රජා ප්‍රදේශ (Autonomous Communities) යි. මෙම ප්‍රජා ප්‍රදේශයන්හි පාලන බලතල ස්පාඤ්ඤ ව්‍යවස්ථාවෙ සහ එක් එක් ප්‍රදේශයන් සඳහා සැකසූ ස්වයං පාලනයේ ආඥාපනත් (Statutes of Autonomy) මඟින් තීරණය වේ. මෙම ප්‍රදේශයන්ගේ ස්වයංපාලන ආඥාපනත් ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාවේ සඳහන් කොන්දේසි වලට එකඟ වන තාක් කල් වෙනස් කල හැක.

ස්පාඤ්ඤ මධ්‍යම රජයේ බදු අයකිරීම් වලට සාපේක්ෂව තම ප්‍රජා ප්‍රදේශය හට ලැබෙන වරප්‍රසාද අඩු වීම හේතුවෙන් සහ ස්පාඤ්ඤයේ මතු වූ මූල්‍ය අර්බුදය හේතුවෙන් කැටලෝනියානු පාලකයෝ තම ප්‍රජා ප්‍රදේශය ස්වෛරී රාජ්‍යයක් බවට පත් කිරීමට පියවර ගත්හ. කැටලෝනියානු ප්‍රාදේශීය ආණ්ඩුව විසින් 2017 ඔක්තොබර් පළමු වැනිදා කැටලෝනියාව වෙනම රාජ්‍යයක් විය යුතු ද යන්න පිළිබඳව ජන මත විචාරණයක් පවත්වන ලදි. මෙම ජනමත විචාරණයේදී කැටලෝනියානු ජනගහණයෙන් බොහෝමයක් කැටලෝනියාව වෙනම රාජ්‍යයක් විය යුතු යැයි අදහස් ප්‍රකාශ කරන ලදි. එනමුත් ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙය නීති විරෝධී ජනමත විචාරණයක් බව නිර්ණය කරන ලදි. මින් පසුව මෙම ප්‍රදේශයෙහි නොයෙක් අර්බුද හටගන්නා ලදි. අවසානයේදී කැටලෝනියානු බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි කැටලෝනියානු ප්‍රාදේශීය රජයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් බොහෝමයක් ස්පාඤ්ඤ රජය විසින් අත් අඩංගුවට ගනු ලැබුණි.

මේ හා සමාන බෙදුම්වාදයක් යූක්‍රේනයේ පිහිටි ක්‍රිමියා අර්ධද්වීපයේ හට ගනු ලැබීය. ක්‍රිමියාවෙ හටගත් බෙදුම්වාදී ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වූයේ ක්‍රිමියානු අර්ධද්වීපය යූක්‍රේනයේ පාලනයෙන් මිදී රුසියානු පාලනයට නතු වීම ය. මෙය ජනවර්ගය පදනම් වූ බෙදුම්වාදයකි. මන්ද යත් ක්‍රිමියාවෙ වැසියන් බොහෝමයක් රුසියානු ජාතිකයන් වූ බැවිනි. ස්පාඤ්ඤයේ මෙන් නොව යූක්‍රේනයේ බෙදුම්වාදය හට බලවත් බාහිර රටක් වන රුසියාවෙන් සහය ලැබුණි. යූක්‍රේනයද ස්පාඤ්ඤය මෙන් ෆෙඩරල් රටකි. අවස්ථා කිහිපයකම ක්‍රිමියානු ප්‍රාන්ත/ප්‍රාදේශීය රජය ක්‍රිමියාව රුසියාවෙ "කොටසක්" කිරීම සඳහා ජනමත විචාරණ පැවැත්වීමට උත්සාහ කර ඇති නමුත් යූක්‍රේනියානු මධ්‍යම ආණ්ඩුව විසින් ඒවා වලක්වන ලදි. අවසානයේදි 2014 වසරේදි රුසියාවෙ ආණ්ඩුවෙ සහයෙන් ක්‍රිමියානු රජය විසින් ජනමත විචාරණයක් පවත්වන ලදී.

නෛතික වශයෙන් බොහෝ ෆෙඩරල් රාජ්‍යයන් විසින් බෙදුම්වාදයට ඉඩ ලබා නොදේ. කෙසේ නමුත් ෆෙඩරල් පාලනයක් තුළ මධ්‍යම ආණ්ඩුවේ බලය ඒකීය පාලනයකට වඩා අවම මට්ටමක පවතින නිසාත්, ප්‍රාන්ත හෝ ප්‍රාදේශීය පාලන ඒකක හට නෛතික වශයෙන් වැඩි ස්වෛරී බවක් ලැබෙන නිසාත් ප්‍රායෝගිකව ගත් කල බෙදුම්වාදී අදහස් සහ ව්‍යාපාර ප්‍රබලව ඇති ප්‍රදේශයක් හට ස්වාධීන රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට ඇති ඉඩකඩ  සාපේක්ෂව වැඩි ය.

එනමුත් ෆෙඩරල් පාලනයක් තුළින්  බෙදුම්වාදය අවම වන්නට ද ඉඩ කඩ ඇත. මන්ද යත් ප්‍රාන්ත ආණ්ඩු හට වැඩි පාලන බලතල හිමි වීමෙන් තම පාලන ප්‍රදේශයන්හි වැසියන්ගේ අදහස් සහ ආකල්ප ගැන වැඩි අවබෝධයක් ගෙන ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රාන්ත ආණ්ඩු හට හැකි වීම ය.

ෆෙඩරල් නොවන ලොව තුළ බෙදුම්වාදය

ෆෙඩරල් නොවන රටවල් වල පවා බෙදුම්වාදී ගැටුම් ඇති වී ඇත.  සංවර්ධිත රාජ්‍යයක් වන එක්සත් රාජධානිය තුළ පැවති උතුරු අයර්ලන්ත බෙදුම්වාදී ගැටුම මීට ප්‍රබල උදාහරණයක් වේ. උතුරු අයර්ලන්තය එක්සත් රාජධානියෙ මධ්‍යගත පාලනයේ තවත් එක් "පළාතකි". ලොව ආර්ථික වශයෙන් විශාලතම ඒකීය රාජ්‍යය වන චීනය තුළද ටිබෙට් බෙදුම්වාදය ආදී බෙදුම්වාදයන් හට ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල්වාදය?

ශ්‍රී ලංකාවෙ පවතින ආණ්ඩු ක්‍රමය ෆෙඩරල් හා මධ්‍යම ආණ්ඩු ක්‍රමයන්හි සම්මිශ්‍රණයකි. මෙම ආණ්ඩු ක්‍රමවේදය ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙ 13 වන සංශෝධනය මඟින් බල පැවැත්වේ.  1987 ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසුව ඇති වූ පළාත් සභා පාලන ක්‍රමවේදය තුළින් බලය බෙදීමක් සිදු වුවද එය ෆෙඩරල් රාජ්‍යයක මෙන් බලය සහ වගකීම් බෙදීයාමක් නොවුණි.

පළාත් සභාවක් එක්තරා ආකාරයකින් ප්‍රාන්ත ආණ්ඩුවක් යැයි හැඳින්විය හැක. ලොව පවතින වෙනත් ෆෙඩරල් රාජ්‍යයන්හි ප්‍රාන්ත ආණ්ඩු මෙන් ශ්‍රී ලංකාවෙ පළාත් සභා හට ස්වාධීනව නීති සැකසීමෙ හැකියාවක් නැත. එමෙන්ම පළාත් සභාවන්හි පැවැත්ම පිළිබඳව පාර්ලිමේන්තුව වග කිව යුතු වේ. පළාත් සභාවන්හි බොහෝ කටයුතු සිදු කිරීම උදෙසා විධායක ජනාධිපතිගෙ හෝ පාර්ලිමේන්තුවෙ අනුමැතිය අවශ්‍ යය. වෙනත් ෆෙඩරල් රාජ්‍යයන්හි මෙන් පළාත් සභා හට පොලිස් බලතල නැති අතර පාර්ලිමේන්තුව තුළ සෙනට් මණ්ඩලයක් මෙන් පළාත් සභා සඳහා වෙන් වුණු වෙනම මණ්ඩලයක් නැත. එය වෙනුවට විවිධ පළාත්වල කටයුතු පිළිබඳව වගකීම් දැරීමට කැබිනට් ඇමති ධුර ඇත.

එමෙන්ම ෆෙඩරල් රාජ්‍යයක් වීම තුළින් බලය තව දුරටත් විමධ්‍යගත වීමෙන් ඇති වන දේශපාලනික සහ නෛතික සංකීර්ණතා බොහොමයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය හැක.  උතුරු සහ උතුරු නැගෙනහිර පළාත් වල පවතින වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ ෆෙඩරල් නමුත් ඒකීය ශ්‍රී ලංකාවක බිහිවීම කෙසේවෙතත් දීර්ඝ-කාලීන පැවැත්ම පිළිබඳ චකිතයක් ඇති වීම සාමාන්‍ය කාරණාවක් බව මගෙ අදහසයි.  එවැනි පසුබිමක ෆෙඩරල් රාජ්‍යයක බිහිවීම කෙතරම් ඵලදායි ද යන්න පිළිබඳව ගැටලුවක් පැන නැගේ. ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීමේ දී බෙදුම්වාදී බලවේග වලට දේශපාලනික වාසියක් නොලැබෙන ආකාරයට ස්ථාපිත කළ යුතු ය. එය සඳහා දීර්ඝ සහ ගැඹුරු දේශපාලන කතිකාවක් අවශ්‍ය ය.


Comments

Popular posts from this blog

ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

කූඹියෝ සහ පාදසටහන්