නවකවදය, දේශපාලනය සහ උපසංස්කෘති


Goat (2016) 


හැඳින්වීම

නවකවදය (Hazing, ragging) යම්තාක් දුරට පුළුල් නිර්වචනයක් ඇති සංකල්පයකි. එහි කෙටි නිර්වචනයක් ලෙස මෙසේ සඳහන් කළ හැකිය: නවක වදය යනු විවිධ කල්ලි, ජන කණ්ඩායම් සහ වෙනත් ආයතන විසින් නවකයන් බඳවාගැනීම උදෙසා හෝ යම්කිසි පරිසරයකට ඔවුන් හුරු කිරීම උදෙසා මානසික සහ ශාරීරික වශයෙන් පීඩා දෙන හෝ නින්දාසහගත කටයුතු හට නවකයන් යොමු කරනා ක්‍රියාවලියයි. ඇතැම් උප සංස්කෘති තුළ මෙය නවකයකු හට යම් කණ්ඩායමක, ගෝත්‍රයක හෝ ආයතනයකට සාමාජිකත්වය ලබා දෙන එක්තරා "චාරිත්‍රයක්" (Rite of passage) ලෙස සැලකේ.

මානව සමාජයෙහි නවකවදය  යන සංකල්පය විවිධ ආකාරයෙන් විවිධ මට්ටමෙන් සහ විවිධ අරමුණු අරභයා ලෝකයෙහි නොයෙකුත් පරිසරයන් තුළ ක්‍රියාත්මක වේ. විවිධ හීනමාන මානසික සංකීර්ණ සිට වෘත්තිමය සහ සමාජ-දේශපාලනික අරමුණු දක්වා නවකවදයෙහි හේතු විහිදෙයි. මෙම ලිපියෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකාවෙහි උසස් අධ්‍යාපන ආයතන තුළ විවිධ කණ්ඩායම් විසින් මෙහෙයවන නවක වදයන් පිළිබඳ ව ය.

ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන පරිසරය තුළ නවකවදයට යම් මට්ටමක දීර්ඝ ඉතිහාසයක් ඇත. රාජ්‍ය විශ්වවිද්‍යාල, වෘත්තිමය පුහුණු ආයතන සහ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල නවකවදය විවිධ මට්ටම් වලින් පැවති ඇති නමුත් නවකවදය හේතුවෙන් වාර්තා වුණු දරුණු ගණයෙහි අපරාධමය සිදුවීම් බොහෝමයක් රාජ්‍ය විශ්වවිද්‍යාල සහ වෙනත් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන තුළ සිදු වූ ඒවා බව නිරීක්ෂණය කළ හැකි බව මාගේ අදහසයි. මෙයට සුවිශේෂී සාධක ලෙස මා දකින්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල පවතින් ඇතැම් අන්තගාමී අදහස් ඇති දේශපාලනික ව්‍යාපාර සහ එම ව්‍යාපාර විසින් සෘජුව හෝ වක්‍රාකාරව පවත්වාගෙන යන ඇතැම් උපසංස්කෘතීන් ය.

නවකවදය සහ උපසංස්කෘතිය

විශ්වවිද්‍යාල සහ වෙනත් උසස් අධ්‍යාපන ආයතන වල නවක සිසුන්ට නවකවදය ලබාදීම යම් මට්ටමකින් හෝ පැවතිය යුතු යි යන ස්ථාවරයේ සිටින බොහෝ පිරිසක් විසින් මතු කරන තර්කයක් නම් විශ්වවිද්‍යාල උපසංස්කෘතියට නවක සිසුන්ගේ ආකල්ප හැඩගැන්වීම සහ නවක ශිෂ්‍ය කාණ්ඩ වල සාමාජිකයන් ඔවුනොවුන් අතර සහ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය කාණ්ඩ අතර ශක්තිමත් සබඳතාවයන් තැනීමට නවකවදය යම් ආකාරයෙන් සහය වන බව ය.

ඉහත සඳහන් කෙරූ තර්කයෙහි මූලික වශයෙන් වැරදි කිහිපයක් ලේඛක මාහට නිරීක්ෂණය වුණි. පළමු ව නම් නවකවදය මානව හිමිකම් කඩවීමකි. පුද්ගලයෙකු ස්ව කැමැත්තෙන් තොරව විවිධ මානසික සහ ශාරීරික අපහසුතා වලට ලක් කිරීම මානව හිමිකම් කඩකිරීමකි. පුද්ගලයෙකු වදහිංසනයට ලක් කිරීම සහ අමානුෂික දඬුවම් පැමිණීවීම ශ්‍රී ලංකාවෙහි ව්‍යවස්ථාවට අනුවද මූලික මානව හිමිකම් කඩවීමකි. තවද 1998 දී පාර්ලිමේන්තුවෙහි ඒකමතිකව සම්මත වූ නවකවදය වැළැක්වීමෙහි පනතට අනුව අධ්‍යාපනික ආයතන තුළ එවැනි ක්‍රියා අපරාධමය වැරදි වේ. 

විශ්වවිද්යාල උප සංස්කෘතියෙහි අංගයක් ලෙස තාවකාලිකව දරදඬු නීති සහිත පරිසරයක් ඇති කරමින්, ජ්‍යේෂ්ඨත්වයට අහේතුක බියක් හෝ ආගමික භක්තියක් දැක්වීමට නවක සිසුන්ට බල කරමින් සහ යම් කල්ලි මානසිකත්වයක් ඇති කිරීමෙහි අරමුණින් නවකවදය ක්‍රියාත්මක කිරීම විශ්වවිද්‍යාලයක හර පද්ධතියකට නුසුදුසු යන්න ලේඛක මතයයි. මන්ද යත් විශ්වවිද්‍යාලයක් යනු දැනුම සොයාගැනීමෙහි කාර්යයට මූලිකත්වය දෙන, විවිධ අදහස් නිදහසෙහි සාකච්ඡා වීමට ඉඩ තිබිය යුතු ආයතනයක් වීම යි. එවැනි ආයතනයක මෙවැනි "චාරිත්‍ර" නොතිබිය යුතු අතර විශ්වවිද්‍යාල පරිපාලනය සහ ශිෂ්‍ය ව්‍යාපාර ඒවා බැහැර කළ යුතු ය. වර්තමානයේදී විශ්වවිද්‍යාල සිසුන් බොහෝ පිරිසක් නවකවදයට එරෙහිව අදහස් ප්‍රකාශ කර ඇති අතර නවකවදයට විරුද්ධව කටයුතු කිරීමට විවිධ ශිෂ්‍ය සංගම් ද පවතියි.

නවකවදයෙහි දේශපාලනය

නවකවදය හෝ ඊට සමාන වෙනත් කටයුතු සාධාරණීකරනයට යොදාගන්නා තවත් ප්‍රසිද්ධ තර්කයක් වන්නේ නිදහස් අධ්‍යාපනය, ශිෂ්‍ය අයිතීන් වැනි සංකල්ප වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය දේශපාලන ප්‍රවාහයට නවකයන් අනුගත වීමට නවකවදය හෝ වෙනත් ඊට සමාන වැඩපිළිවෙලක් අවශ්‍ය බව ය. නිදහස් අධ්‍යාපනය, ශිෂ්‍ය අයිතීන් වැනි සංකල්ප වෙනුවෙන් ශිෂ්‍ය දේශපාලනයට නවකයන් යොමු කිරීමෙහි අඩි තාලමක් ලෙස නවකවදයෙහි භාවිතයක් අවශ්‍ය නොවේ. එමෙන් ම ශිෂ්‍ය දේශපාලනයට සහභාගී වීම හෝ නොවීම ශිෂ්‍යයකුගේ පෞද්ගලික තීරණයක් විය යුතු අතර එසේ නොකර ඔවුන් ට විවිධ බලපෑම් එල්ල කොට දේශපාලනික කටයුතු සඳහා සහභාගී කරගැනීම එම ශිෂ්‍යයාගේ සිවිල් අයිතිවාසිකම් කඩ වීමකි.

විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුළ ඇතැම් ශිෂ්‍ය මෙන්ම වෙනත් දේශපාලනික ව්‍යාපාර නවකවදය සහ වෙනයම් ආකාරයේ බලපෑම් තුළින් සිසුන් සිය දේශපාලනික කටයුතු සඳහා යොදාගැනීම තුළින් ගම්‍ය වන්නේ එම ව්‍යාපාර තුළ ඇති පසුගාමී ගෝත්‍රවාදී චින්තනය යි. එලෙස තරවටු කොට සිසුන් තම දේශපාලනික අරමුණු සඳහා අනුගත කිරීම අවශ්‍යතාවයක් ලෙස ඔවුන් දකින්නේ නම් එවැනි දේශපාලනික ව්‍යාපාර විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන පරිසරයට උචිත නොවේ. මෙවැනි දේශපාලනික ව්‍යාපාර සහ ඊට සහය ලබාදෙන දේශපාලනික පක්ෂ උසස් අධ්‍යාපන භූමිකාවෙන් ඉවත් කිරීම ඉතා වැදගත් ය. මන්ද යත් ඇතැම් උසස් අධ්‍යාපන ආයතන වල නවකවදයට නොනිල සිවිල් බලයක් ලැබෙන්නේ මෙම ව්‍යාපාර වලට සහය දක්වන සිසුන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් තුළින් නිසා ය. එමෙන්ම විශ්විද්‍යාල පරිපාලන මණ්ඩල සහ ශිෂ්‍ය සංගම් මෙවැනි අන්තගාමී පීඩාකාරී දේශපාලනික ව්‍යාපාර වලින් ඉවත් කිරීමට කටයුතු කිරීම වැදගත් ය. මෙයට විශ්වවිද්‍යාල තුළින් හෝ විශාල නවකවද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීම තුළින් කළ හැකි නමුත් එය ඇතැම් විට පහසු කටයුත්තක් නොවනු ඇත.

නවකවදය සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාවෙහි ඔනෑම අධ්‍යාපනික ආයතනයක සිදුවන නවකවදය ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව අපරාධමය වැරදි වශයෙන් නඩු ගොනු කිරීම සඳහා 1998 අංක 20 දරන උසස් අධ්‍යාපන ආයතන තුළ නවකවදය සහ වෙනත් හිංසා වැළැක්වීමේ පනත යොදාගත හැක. නවකවද සිදුවීම් පොලිස් දෙපාර්තමේන්තුවට වාර්තා කිරීම උදෙසා 1997 යන හදිසි ඇමතුම් අංකයට අවශ්‍ය ඔනෑම වෙලාවකට ඇමතුමක් ලබා දී දැනුම් දිය හැක. මීට අමතරව විශවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හට ද පැමිණිළි කල හැකි අතර එම කොමිසමෙහි වෙබ් අඩවිය තුළින් පැමිණිලි ගොනු කිරීමට ඇති ක්‍රමවේද පිළිබඳ ව විස්තර ලබාගත හැක.

සමාප්තිය

ශ්‍රී ලංකාවෙහි උසස් අධ්‍යාපන ආයතන තුළ නවකවද සිදුවීම් වාර්තා වීමෙහි දීර්ඝ ඉතිහාසයක් ඇත. එමෙන්ම ඇතැම් උසස් අධ්‍යාපන ආයතන තුළ විවිධ කණ්ඩායම් නවකවදය අන්තගාමී දේශපාලනික ව්‍යාපාර සඳහා නවක සිසුන් අනුගත කිරීමෙහි ක්‍රමවේදයක් විදිහට යොදාගැනේ. විශ්වවිද්‍යාල තුළ මානසික සහ ශාරීරික හිංසා නවක සිසුන්ට ලබා දීම තුළින් ඔවුන්ගේ පෞරුෂ වර්ධනයක් සිදු වන්නේ නැත. එසේ නවකයන්ට පෞරුෂ සහ කුසලතා වර්ධනය ලබා දීමට අවශ්‍ය නම් වෘත්තිමය වැඩසටහන් වැනි දෑ පැවැත්විය හැක. විශ්වවිද්‍යාල සිසුන්ගේ දේශපාලනය පරිණත සහ ශිෂ්ට මුහුණුවරක් ගත යුතු අතර නවකවදය වැනි ක්‍රියාමාර්ග අනුමත කරනා අන්තගාමී දේශපාලනික ව්‍යාපාර මුලිනුපුටා දැමිය යුතු ය.

Comments

Popular posts from this blog

ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය

කූඹියෝ සහ පාදසටහන්