ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

"ගුරුවරුන් යනු ළමයෙකුගේ දෙවැනි දෙමාපියන් ය" යනු අප සමාජයේ සංකල්පගත වූ තවත් එක් ප්‍රසිද්ධ අදහසකි.මෙය කෙතරම් සත්‍යදැයි මට නිශ්චිතව පැවසිය නොහැක.එහෙත් එහි වලංගු බව බොහෝවිට එක් පුද්ගලයෙකුගෙන් තව පුද්ගලයෙකුට වෙනස් වන සාපෙක්ෂ දෙයක් බව මම මාගේ ජීව්ත කාලය තුළ ලැබූ අත්දැකීම් ඇසුරින් නිගමනයකට පැමිණිමි.ගුරුමෑණිය/ගුරුපියා යනු සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ ලිඛිත ව්‍යවහාරයේ යොදාගන්නා ගෞරවනාම පදයකි.මෙයින් ගුරුමෑණිය/ගුරුපියා යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ එක් කෙනෙකු හෝ යම් පිරිසක් විසින් නිර්මාණය කරන ලද සදාචාරාත්මක හෝ වෙනත් රාමුවකට ගැලපෙන ගුරු වෘත්තිකයෙකි.මෙවැනි සදාචාරාත්මක රාමු දහස් ගණන් එකට එකතු වී සෑදුණු අප සමාජයේ පවතින පොදු ආකල්ප වලට සරිලන ලෙස තම වෘත්තියෙ යෙදෙන ගුරුවරයා හෝ ගුරුවරිය ගුරුපියෙක් හෝ ගුරුමෑණියෙක් වන්නේ එසේය.එම පැරඩයිමයට යම් ගුරු වෘත්තිකයෙක් අයත් නොවන්නේ නම් ඔහු හෝ ඇය තවත් එක් ගුරුවරයෙක්,ගුරුවරියක් හෝ ගුරුවරියක් පමණි.තවත් එක් 'මිසී' කෙනෙක් හෝ තක්කඩියෙක් හෝ හොරෙක්/හෙරක් පමණි.

මෙතන මා දකින බරපතලම ප්‍රශ්නය මෙය නොවේ.බරපතලම ප්‍රශ්නය වන්නේ මොවුන් ඇට,මස්,නහර වලින් සෑදුණු මිනිසුන් ලෙස එසේ මොවුන්ව පැරඩයිම වලට වෙන් කරන අය නොසැලකීමයි.ඔවුනට බොහෝවිට ගුරුවරුන් යනු එක්කො ටොප් කොලිටි බ්‍රෑන්ඩඩ් භාණ්ඩ නැතහොත් බාල බඩුය.ටොප් කොලිටි භාණ්ඩ හෙවත් 'ගුරු දෙමාපියන්' යනු සමාජයේ සම්මත පැරඩයිමයයි.බොහෝ ගුරුවරුන් මෙම සම්මත පැරඩයිමයට අයත් වන බව මා කුඩාකාලයේදී මාගේ දෙමව්පියන් විසින් කියා දෙන ලදී.එසේ නොවන ගුරුවරු සිටින්නේ අතලොස්සක් බවත් මට ඒත්තු ගැන්විනි.එමෙන්ම එවැනි ගුරුමෑණියන් ගේ වචනයට කීකරු වන්නටත් ඔවුන් දුටු තැන දණින් වැටී වඳින්නටත් මාහට ඒත්තු ගැන්විනි.'ගුරුදෙමාපියන්' නොවන නිකන් ගුරුවරුන්ටත් එසේ දණින් වැටී ගරු කරන්නට මා හට ඒත්තු ගැන්විනි.එවැනි 'නිකං' හෝ 'අප්සට්' යැයි සම්මත ගුරුවරුන්ට බොහෝ විට ප්‍රහාර එල්ලවන්නේ සිසුන්ගෙන් නොව තමන්ගේ සේවායෝජකයාගෙන් හෝ ගුරු සගයන්ගෙන්ය.සේවායෝජකයා බොහෝ විට 'ෆේස්-ටු-ෆේස්' ප්‍රහාර එල්ල කළද සගයන් ලෙස පෙනී හිටින විරුද්ධවාදී ගුරුවරුන්ගෙන් ලැබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් කූට ප්‍රහාරයන්ය.

"ගුරුවරයා යනු දෙවියෙකි........."

කුඩා කල සිට විශේෂයෙන්ම මෙම ගුරුදෙමව්පියන්ට මෙසේ ගරු කරන්නට මම පුරුදු වී සිටිමි.ඔවුන් දැක වැඳ වැටෙන්නට,ඔවුන් සහ 'පිනාලා' පාසලේ එහෙ මෙහෙ ඇවිදිද්දී ගිලන් රථ දුටු විට පාරෙන් වාහනය ඉවත් කිරීම මෙන් අහකට වී ඔවුනට රිසි සේ ගමන් කිරීමට ඉඩ දීමට ද ඉඳ හිට පොඩි වරදකට පවා මිලිටරි ටයිප් ගුටි බැට කෑමට සහ ඒවා ඉවසීමට මම පුරුදු වී සිටිමි.කොටින්ම කිව්වොත් ගුරුවරු සාමාන්‍යයෙන් පාසල් අවකාශයේ සැලකෙන්නේ දෙවියන් නැතහොත් අයින්ස්ටයින් වරෙක තම අත්දැකීමෙන් පැවසූ ලෙස 'සැරයන් වරු' ලෙස ය.ඔවුන් ඇමතිය යුත්තේ මැඩම් හෝ සර් කියමින් ය.ඔවුන් දුටු විට සිට ගන්නටත්,අත් පිටිපස්සට දමා මීයට පිම්බාක් මෙන් සිටින්නටත් පුරුදු වී සිටීම බොහෝ විට පාසල් අවකාශයේ අත්‍යාවශ්‍ය වන හැසිරීම් වේ.පෙර හැඳින්වූ පරිදි 'නිකන්' ගුරුවරු තරමක් දුරට ළමයින් කෙරෙහි ලිහිල් විනයමය ප්‍රතිපත්තියක් අනුගමනය කළද අප සමාජයේ නිතර කතා බහට ලක්වෙන 'නියම ගුරුවරු' බොහෝවිට අනුගමනය කරන්නේ යල් පැනගිය  වික්ටෝරියානු සම්ප්‍රදායේ දරදඬු විනයමය ප්‍රතිපත්තීන් ය.වේවැලෙන් සමේ පළු යනකන් ගැසීම,කණ පැලෙන්නට ගැසීම,පැය ගණන් දනගස්වා තැබීම වැනි දඬුවම් ඉතා සුලභය.මෙවැනි ශාරීරික දඬුවම් අනුමත නොකරන ඇතැම් ගුරුවරු ළමයින්ට මානසික පීඩා ලබා දෙති.මෙය ශාරීරික දඬුවම් දෙනවාට වඩා තරමක් භයානක දඬුවම් ය.මෙවැනි දඬුවම් අත්වින්ඳ පුද්ගලයෙක් ලෙස මම මෙය මාගේ අත්දැකීම් ඔස්සේ අවබෝධ කරගත් දෙයකි."දෙමාපියන්ට කෝල් කරනවා","ප්‍රින්සිපල් ට කියනවා","පන්තියෙන්/ඉස්කෝලෙන් පන්නනවා" වැනි  වදන් පවසමින් බිය වැද්දීම,විවිධ ලෙස 'හින්ට්' ගසමින් අපහාස/උපහාස කරමින් ළමයින්ගේ පෞරුෂ බිඳවැට්ටීම වැනි දඬුවම් ඉන් සුලභ වේ.මෙවැනි මනස ඉලක්ක කොටගෙන දෙන දඬුවම් විඳීමෙන් බොහෝ විට දුර්වල වන්නේ සිසුවෙකුගේ හෝ සිසුවියකගේ මානසිකත්වය සහ පෞරුෂයයි.සිය දිවි නසාගැනීම වැනි දරුණු තීරණ වලට එවැනි දඬුවම් විඳින ලද සමහර ශිෂ්‍ය  ශිෂ්‍යාවන් එළඹෙන්නේ ඒ නිසාය.මෙවැනි දඬුවම් අත්විඳි සිසු සිසුවියන්ගේ මානසිකත්වයද ඇතැම් විට විකෘති වන්නට ඉඩ තිබේ.ඉන් පසුව ඔවුන් ද එලෙස තමන්ගේ සේවකයන්ට,දරුවන්ට සලකන්නට හුරු වීමට ඉඩ ඇත.ශාරීරික දඬුවම් වලටනම් යම් සීමාවක් සාමාජ්‍යයීය වශයෙන් පැනවී ඇති බව කිව හැක.එය එසේ හෝ වීම අගය කළ යුත්තකි.එහෙත් මානසිකව දෙන දඬුවම් තරමක් සංකීර්ණ හා විචක්ෂණ වන බැවින් එවැනි දඬුවම් ගැන සමාජ කතිකාවතක් ඇතිවනවානම් ඒ ඉතා කලාතුරකිනි.එනමුදු 'ගුරුවරයා යනු දෙවියෙකි' යන සංකල්පය ලාංකීය පාසල් අවකාෂයේ ඉතා ප්‍රබල ය.කලින් පැවසූ මෙන් ගුරුවරයා යනු තවත්  මනුෂ්‍යයෙක් යැයි සිතන්නට බලපාන ප්‍රධාන සංකල්පීය බාධකය මෙයයි.දේවගෝලයා දෙවියා ඔහුට වඩා දියුණු ජීවියෙක් වන නිසා දෙවියන් හට අසීමිත භක්තියකින් පුද පූජා කරන්නාක් මෙන් සිසුවාද එසේ ගුරුවරයෙකුට ගෞරවනමස්කාර කළ යුතුයි යන මතය නිසා ගුරුවරුන් සමඟ සාමාන්‍ය මිනිසුන් හා එක්ව කටයුතු කරන්නාක් මෙන් කටයුතු නොකිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සිදු වී තිබේ.මෙතනදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔවුන්ට තරමක් උසස් කොට සැලකිය යුතුය.එසේ කරාට කම් නැත.පිදිය යුත්තාට පිදීම වරදක් නොවේ.එනමුදු පැත්ත පළාතේ සිටින හැම එකාටම පිදීමට යෑමෙන් වන්නේ පිදීමට යුතු මෙන්ම නොයුතු තැනැත්තන්ද ගරු බුහුමන් ලැබීමයි.එයින් විශෙෂයෙන්ම නොතේරෙන වයස්වල සිටින කුඩා දරුවෙකුගේ විචාරාත්මක බුද්ධිය මොට වීමට බලපාන බව මම සිතමි.මන්ද යත් පුද්ගලයාට වඩා ලේබලයට හෝ තනතුරු පට්ටමට අවධානය යොමු කරන්නට එවැනි ළමයි පුරුදු වන බැවිනි.සාම්ප්‍රදායික කළු-සුදු වෘත්තීය භේදය තරමක් දුරට උග්‍ර වන්නට මෙම ගුරු ලේබලය මත පදනම් වූ ගෞරවය බලපාන්නේ නැත්තෙම නොවේ.මෙයින් මම අදහස් කරන්නේ ගුරු වෘත්තිය යනු තවත් එක් සේවයක් බැවින් ගුරුවරුන් යනු වැදගැම්මකට නැති පුද්ගලයන් බව නොවේ.ගුරු වෘත්තියේ වටිනාකම මමද අගයමි.එසේ වුවත් ගුරුවරයා යන පට්ටමට වන්දනා කරමින් බොහෝ ගුරුවරුන්ට දේවත්වයෙන් සලකමින් ඔවුන් දකින දකින තැන දණින් වැටීමෙන් හෝ දඬු කඳන් මෙන් සීරුවෙන් සිටීමෙන් ඵලක් නැතැයි මම සිතමි.ගුරුවරයා යනු මට තවත් මනුස්සයකු පමණි.ඔහු හෝ ඇය මට වඩා දැනුමෙන් පරිපූර්ණ වන්නට පුළුවන,අත්දැකීම් තිබෙන්නට පුළුවන.එහෙත් ඔහු හෝ ඇය සර්වසම්පූර්ණ නොවේ.එය මනුස්ස ගතියකි.

'ඇරියස් 'කවර් කිරීම....

ශ්‍රී ලාංකේය රාජ්‍ය සේවයේ අඩුපාඩු බොහෝමයක් ඇත.අධ්‍යාපන ක්ෂෙත්‍රයේද අඩුපාඩු ඇත.මෙතනදී ගුරු සිසු සම්බන්ධතාවයට අහිතකර ලෙස බලපාන සාධක කිහිපයක් ඇත.ඉන් ප්‍රධානතම සාධකය නම් බොහෝ රාජ්‍ය අධ්‍යාපන ක්ෂෙත්‍රයේ නියැළෙන ගුරුවරුන්ට මුහුන පාන්නට සිදුවන  පෞරුෂ බිඳවැටීමයි.සමාජයේ ගුරු වෘත්තිය පූජනීය ලෙස සැලකුවද රාජ්‍ය දෙපාර්තමේන්තු වල තත්වය ඊට ටිකක් වෙනස් ය.අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ බලධාරීන් හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් සාමාන්‍ය ගුරුවරයකුට නිසි වෘත්තිය ගරුත්වය ලබා දී සලකනවාද යන්න ගැටලුවකි.මෙවැනි නිලධාරීන්ගේ අකාර්යක්ෂම,පරපීඩාකාරී ක්‍රියාකලාප නිසා ගුරුවරුන්ට විඳින්නට සිදුවන දුක් ගැහැට බොහෝය.පත්වීම් සිට මාසේ පඩිය ගැනීම දක්වා ඔවුනට අධ්‍යාපන දෙපාර්තමේන්තු සමඟ කටයුතු කිරීමේදී නොයෙක් අකරතැබ්බ වලට මුහුණ දෙන්නට සිදුවේ.තවද ඔවුන්ට පැවරී ඇති වැඩ ප්‍රමාණයද සුළුපටු නොවේ.තරමක් විශාල විෂය නිර්දේශ කෙටි කාල වකවානුවක් තුළ උගන්වා සම්පූර්ණ කිරීම,දීර්ඝ ඇගයීම් කටයුතු වළ නිරතවීම වැනි රාජකාරි වල යෙදීමේදී සාමාන්‍ය ගුරුවරයකු හට මානසික ආතතිය ඇති වීම අරුමයක් නොවේ.

මෙවැනි පීඩාකාරී වාතාවරණයක් මැද නිතර කටයුතු කරන විට කෙනෙකුගේ මානසිකත්වය වෙනස් වීමට ඉඩ ඇත.ගුරුවරුන්ට වී ඇති අලකලංචියද එයයි.ඇතැම් ගුරුවරුන් මෙවැනි කාර්යාල වලින් තමන් හට පහත් ලෙස සලකන විට එහි 'ඇරියස්' කවර් කරන්නේ  නැතහොත් එයින් හීන වන තම තමන්ගේ පෞරුෂ යලි ලබාගන්නේ සිසුන් ගේ මාර්ගයෙන් ය.බලෙන් සිසු සිසුවියන්ගෙ ගෞරවය උකහා ගන්නට මොවුන් වෙර දරන්නේ අන්න ඒ නිසා ය.තමන් දුටු විට පුටුවෙන් නොනැගුණු හෝ සීරුවෙන් නොසිටිනා ළමයින්ගේ 'කණ පලන්නට' ඔවුහු පුරුදු වී සිටිති.

එමෙන්ම තවත් සමහරු ළමයින් හා එක්ව කටයුතු කරන්න දන්නෙම නැත.දෙපාර්තමේන්තුවෙන් පැවරී ඇති රාජකාරිය හෙවත් විෂය නිර්දේශය වනපොතේ ලියවීම කර ඔවුහු පළා යති.සිසුන් තළා පෙළා හෝ ඔවුහු එය කරන්නට උත්සාහ දරති.ඔවුන් ළමා මනස ගැන දන්නා මෙලො කෙංගෙඩියක් නැත.කොටින්ම කිවහොත් ඔවුනුත් දැඩි මානසික ආතති වලට ලක්ව ඇති හෙයින් ළමයින් ගැන හොයා බැලීමට,ඔවුන්ගේ මානසිකත්වයට උචිත ලෙස ඉගැන්වීමට වීමට ඔවුනට කාලයක් බොහෝවිට ඉතුරුවන්නේ නොමැත.සිලබස් ටොන් ගණන් පිටින් කවර් කිරීමට ඔවුනට සිදු වී ඇත.ඇතැම් ගුරුවරුන් සිසුන් තළා පෙළා හෝ විෂය කරුණු ඔවුන්ගේ මනස්වලට "පොවන්නට" හදන්නේ ඒ නිසාය.ඔවුන් සිසුන්ගේ අනාගතය ගැන කල්පනාකාරී වනවා වන්නට පුළුවන.මන්ද යත් තරමක් විශාල,සංකීර්ණ ව්‍යුහයක් ඇති ශ්‍රී ලංකාවේ වර්තමාන පාසල් පාසල් විෂය පද්ධතිය බොහෝ ලෙස සිසුන් හට ආතතිය,පීඩාව ඇතිකරන එකක් වන බැවිනි.සාමාන්‍ය බුද්ධි මට්ටමකින් යුත් ශිෂ්‍යයකුට මෙවැනි අධ්‍යාපනයක් හැදෑරීම ඉතා අපහසු,භාරදූර කටයුත්තකි.

මෙලෙස මෙවැනි වාතාවරණයක් ඇතිවීමට බලපාන්නට වග කිව යුත්තේ ගුරුවරු පමණක් ම නොවේ.මුළු අධ්‍යාපන පද්ධතියම මීට වග කිව යුතු බව මාගේ හැඟීම යි.ගුරුවරු යනු මෙම පද්ධතියේ තවත් පුරුක් කිහිපයක් පමණි.ඔවුන් ඉටු කරන්නේ ඔවුනට පැවරී ඇති රාජකාරියයි.සමහරුන් සිසුන් තළා පෙලා ඔවුන්ගෙන් මිලටරි  ටයිප් ගෞරවයක් උකහා ගන්නට දඟලන්නේත්,සමහර ගුරුවරුන් සිසුන් තළා පෙලා හෝ සිලබස් 'කවර්' කිරීමට උදේ හවා හති දමාගෙන වෙහෙසෙන්නේත් ඔවුනට පැවරී ඇති රාජකාරියේ භාරදූර බව හා ඔවුන්ගේ සේවාස්ථාන වලින් ලැබෙන නොයෙකුත් හිංසා පීඩා නිසාය.එවැනි වාතාවරණයක් මැද සේවය කරන මෙවැනි ගුරුවරුන් හට දරුවන්ගේ මානසිකත්වයන් ගැන නිසි අවබෝධයකින් යුතුව ඔවුනගේ මානසිකත්වයන්ට උචිත ලෙස කටයුතු කිරීම පුළුවන් ද යන්න ගැටලුවකි.

ගුරුවරුන් සහ ලාංකික සිසු පරපුරේ අනාගතය.......

මාගේ පාසල් ජීවිතයේ මා ගරු කොට සලකන ගුරුවරුන් ඇත.ඔවුන් බොහෝ දෙනෙකු මම ගරු කරන්නේ මා හට මෙන්ම මා අවට සිටින සිසුන් හට ඉටු කරපු සේවය නිසාය.කලක් මම කලින් පසක් කරන 'ගුරුවරුන් යනු දෙවියන් ය' යන ස්ථාවරයේ සිටිමි.පසුව 'ගුරුවරුන් යනු තවත් ගොබ්බ රාජ්‍ය සේවකයන් පිරිසකි' යන ස්ථාවරයේද සිටිමි.දැන් මා එයින් කිසිවකවත් නොසිටිමි.මන්ද යත් පසු කලෙක ගුරුවරුන් යනු කළු-සුදු  ලෙස කාණ්ඩගත කළ නොහැකි බව මා අවබෝධ කරගත් හෙයිනි.ඔවුන් ද ඇට,මස්,නහර වලින් සෑදුණු තණ්හා,ආසා වලින් සමන්විත සංකීර්ණ,විව්ධ හැසිරීම්,මතවාද ඇති මිනිසුන් වන බව මම අවබෝධ කරගත්තෙමි.එතැන් පටන් මම ගුරුවරුන් දෙස විවෘත,මධ්‍යස්ත මෙන්ම තනිපුද්ගලවාදී ආකල්පයකින් බලන්නට පටන් ගත්තෙමි.

ගුරුවරයකුගෙන් ඉටු වන සේවය අගනා බව මට වැටෙහේ.රටක නව පරපුරක් බිහිවීමට ගුරුවරුන් විසින් තනන ලද අඩිතාලම සුළුවට තැකිය යුතු එකක් නොවේ.එසේ වූ පමණින් රටට අවශ්‍ය වන්නේ මිලටරි තාලයේ ගුරුවරුන් නොවන බව මම තරයේ විශ්වාස කරමි.අද මෙම රටට අවශ්‍ය ළමා මනස ගැන හොඳ අවබෝධයක් ඇති,ළමා මානසිකත්වයට උචිත ලෙස කටයුතු කරන,ඉගැන්වීමේ ක්‍රම සහ විධි ගැන මනාව දැනුවත් දිසාපාමොක්,ප්ලේටො ගණයේ ගුරුවරුන් මිස වික්ටෝරියා රැජිනගේ කල සිටි සාජන්ට්වරු නොවේ.ලෝකයේ අන් කොණවල් වල ගුරු-ගෝල සම්බන්ධතා සියයට සියයක් සාර්ථක ඒවා කියා මම නොකියමි.ශ්‍රී ලංකාවේ ගුරු-ගෝල සම්බන්ධතා ගුරුන් ගෝලයන්ට තඩිබාන තත්වයේ සිට එහි ප්‍රතිවිරුද්ධ අන්තයට ගමන් කල යුතුයි යැයි මා පවසන්නේ නැත.මෙම සම්බන්ධතාවය තවත් එක් යුටෝපියානු එකක් වන්නට පුළුවන.ඒත් එම යුටෝපියාවේ එක් අංශුමාත්‍රයක් හෝ යථාර්තගත කරන්නට නොහැක්කක්ම නොවන බව මම සිතමි.වරද ඇත්තේ ගුරුවරුන් හෝ ශිෂ්‍ය පරපුර අතර පමණක් ම නොවේ.අධ්‍යාපන පැරඩයිමයේ වෙනස්වීම් සිදු විය යුතු බව මම විශ්වාස කරමි.එය එක රැයකින් ආණ්ඩුවක් පෙරළනවා මෙන් සිදුවිය යුතු දෙයක් නොවේ.එසේ සිදුවීමෙන් පලක් ද නොමැත.පැරඩයිමය වෙනස් විය යුතු බව මම විශ්වාස කරමි.පටන් ගත යුත්තේ කොහෙන්ද යන්ද තීරණය කිරීම ඊටත් වඩා අපහසු ය.මහත්මා ගාන්ධි වරක් පැවසූ මෙන් තමන් අපේක්ෂා කරන වෙනස පළමුවෙන්ම ඇති විය යුත්තේ තමන් තුළ ය.මටත් පැවසිය හැක්කේ මෙයයි.අතීතය වෙනස් කිරීමට නොහැකිය ඒත් අනාගතය වෙනස් කළ හැකිය.පනත් දෙක තුනක් දමා කෙටි කාලීනව විසඳුම් සෙවීමට හැකිය.දීර්ඝ කාලීනව ප්‍රතිඵල ලබන්නට නම් ඊටත් වඩා දෙයක් කළ යුතුය.අපේ අනාගතය යැයි උඩ දමාගෙන පම්පෝරි ගහන කුඩා දරුවන්ගේ මනස් තුළ එවැනි ආකල්ප රෝපණය කරන්නට කාලයක් වෙන් කර ගත්තොත් නරකද?ගුරුවරයෙක් යනු දෙවියෙක් හෝ තවත් තුච්ච රාජ්‍ය සේවකයෙක් නොව මනුස්සයෙක්  බව සරලව අප ඔවුන් හට කියා දී ඔවුන් තුළ තනතුරු පට්ටම් කෙරෙහි ඇතිවන මධ්‍යකාලීන යුගය ගණයේ අවිචාරාත්මක බිය හෝ ගෞරවය සෑහෙන දුරකට අඩු කරන්නට නොහැකි වේද?




Comments

  1. මේ මාතෘකාව අධ්‍යාපනය ගැන කතාබහට ඉතා හොඳ ප්‍රවේශයක්.

    ReplyDelete
  2. ලිපිය බාගෙට කියවගෙන එද්දි ඔලුව කැක්කුම හැදුනා මචන්. කළු පාට පසුබිමේ අකුරු කියවන්න බොහෝම අමාරුයි ගොඩක් දෙනෙක්ට. මගෙ යෝජනාව මේ ගැන විහාන්ගේ යාලුවෙන් දෙතුන් දෙනෙක්ගේ අදහස් විමසලා බලන්න. ඉන්පස්සෙ බ්ලොග් එකේ පාට ගැන තීරණයකට එන්න. දැනට මට නම් මේක පාටවල් ඔලුවෙ කැක්කුම එන තරමටම අමාරුයි. පස්සෙ වෙලාවක වෙන තැනකට කොපි කරගෙනවත් කියවන්නම්.

    ReplyDelete
  3. මට මගේ පැවරුමට ගොඩාක් වැදගත් වුනා..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය

කූඹියෝ සහ පාදසටහන්