ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස ද?

"ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් යනු නිදහස් දේශයක්" හෝ "භාෂණයේ නිදහස වැනි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යාවශ්‍ය අංග වේ" වැන්නන් මා හට නිරන්තරයෙන් ඇසෙන්නට/දකින්නට ලැබුණු ප්‍රකාශ/තර්ක විය. ප්‍රජාතන්ත්‍රවාදය යනු මානව අයිතීන් සහ මානව හිමිකම් වැනි සංකල්ප වල දේශපාලනික පදනමක් ලෙස හැඳින්වීම මා දැක ඇති වාරයන් එමට ය. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු මානව නිදහසට අත්‍යාවශ්‍ය දේශපාලන පදනමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය නැති සමාජයක හෝ රටක නිදහසක් බලාපොරොත්තු විය හැකි ද? මේ සියල්ලට මම මා දන්නා ආකාරයෙන් මෙම ලිපිය තුළින් පිළිතුරු සැපයීමට අදහස් කරමි. පරජාතන්ත්‍රවාදය යනු කුමක් ද?
ප්‍රජාතන්ත්‍රවාදය යනු සරලව ගත් කළ බහුතර සිවිල් ජනයාගේ පාලනය යි. කලින් කල මැතිවරණ වැනි ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩසටහන් තුළින් සිවිල් ජනතාව හට තමන්ගෙ මනාපයන් අනුව සිවිල් නියෝජිතයන් පත්කොට පාලන අධිකාරියන් පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදයක මූලික අංගය යැයි පැවැසීම තුළ වැරැද්දක් මම නොදකිමි. දේශපාලනික විද්‍යාඥ ලැරි ඩයමන්ඩ් විසින් ප්‍රජාතන්ත්‍රවාදය කොටස් 4ක එකතුවක් ලෙස හඳුන්වා ඇත. එම අංග 4 ඔහු විසින් මෙසේ විස්තර කරන ලදි : 1) නිදහස් සහ සාධාරණ ඡන්ද ප්‍රකාශ කිරීම් සහ විමසීම් තුළින් රජයන් පිහිටුවීමේ සහ වෙනස් කිරීමේ ක්‍රමවේදය. 2) සිවිල් ජනතාව දේශපාලනය තුළ උද්‍යෝගී ලෙස නියැළීමට හැකීවීමේ තත්වය. 3) පුරවැසියන්ගේ සියලු මානව අයිතීන් සුරැකීම. 4) සියලු සිවිල් වැසියන්ට අදාළ වන ආකාරයේ ක්‍රියාත්මක වන නීතී පද්ධතියක්. ප්‍රජාතන්ත්‍රවාදය තුළ නිදහසක්? ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල නිදහස් නැති බව මම නොපවසමි. එනමුත් මානව නිදහස, විශෙෂයෙන්ම පුද්ගලික නිදහස, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම් නොවේ. මානව අයිතීන් සහ නිදහස් යනු ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය යුතු අංග නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර පිරිසගේ මනාපය පාලනය හසුරුවීම අගයන දේශපාලන මතවාදය යි. ඕනම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කේන්ද්‍ර වන්නේ එහි ඡන්දහිමි සංඛ්‍යාත්මක බහුතරයේ දේශපාලන මතවාදයන් මත යනු බව මාගේ විශ්වාසය යි. "ප්‍රජාතන්ත්‍රවාදී" යැයි හැඳින්වෙන දේශයන්හි මානව අයිතීන් සහ නිදහස් ව්‍යවස්ථාගත වී තිබෙන්නේ හුදු ප්‍රජාතන්ත්‍රවාදය නිසා නොව එක්කො බහුතර ජනයාගේ පැතුම් නිසා හෝ එම රටෙහි නීති පද්ධතිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනි නිදහස්වාදී සංකල්ප හා සබැඳී විශේෂ ගණයේ ප්‍රජාතන්ත්‍රවාදයක් නිසා ය.
බහුතර ජනයාගේ මනාපය යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක මූලයයි. එය එක්තරා ආකාරයක මෘදු ෆැසිස්ට්වාදයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ නොදුටු පැතිකඩ නම් එය සියයට පනස්-එක විසින් ඉතුරු සියයට හතලිස්-නවය පාලනය කරන දේශපාලනික සම්ප්‍රදායක් බවයි. "පරිපූර්ණ" යැයි සැලකෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සත්‍යය වන්නේ මෙයයි. යම්කිසි මානව නිදහසක් හෝ අයිතියක් නීත්‍යානුකූල කිරීමට ද නිතී විරෝධී කිරීමට ද සාධනීය බලයක් පරිපූර්ණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදී වූ රටක ඡන්දහිමි බහුතර ජනයා සතු ය. මානව හිමිකම්, මානව නිදහස්, ඒක පුද්ගල නිදහස් උල්ලංඝනය අනුමත කරන අදහස් බහුතරයේ අදහස් වූ කල්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට එවැනි අදහස් ඔස්සේ ක්‍රියාකිරීමට සිදුවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට බහුතරයේ අනුදැනුම මත සුළුතරයේ අයිතීන් සහ නිදහස් උල්ලංඝනය වීම වැලැක්විය නොහැක.
"ප්‍රජාතන්ත්‍රවාදී දේශයන්" හි සිවිල් අයිතීන් සහ නිදහස් නීතියෙන් ආරක්ෂා වීම
බහුතර කැමැත්ත ප්‍රධාන සියලු හේතුවලින් භාෂණයේ නිදහස, පුද්ගලික දේපල ආරක්ෂාකිරීමේ නිදහස වැනි සිවිල් අයිතීන් ව්‍යවස්ථානුකූලව ආරක්ෂා වීම ප්‍රජාතන්ත්‍රවාදී අංග නොවේ. පැරණි ලිබරල්වාදය, ලිබටේරියානුවාදය, ජනරජවාදය වැනි සිවිල් සහ පුද්ගලික නිදහස් අගයන දේශපාලන මතවාදයන්හි බලපෑම මත සිවිල් නිදහස් සහ අයිතීන් ව්‍යවස්ථානූකූලව සුරැකෙන පාලනයන් ජනරජයක හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණ පෙන්නුම් කරයි. සැබැවින්ම මානව අයිතීන් සහ මානව නිදහස් සුරැකී තිබෙන "ප්‍රජාතන්ත්‍රවාදයන්" බිහි වී තිබෙන්නේ ඉහත සඳහන් ගණයේ නිදහස්වාදී දේශපාලනික මතවාදයන්හි බලපෑම නිසා මිස ප්‍රජාතන්ත්‍රවාදය නිසා නොවන බව මම විශ්වාස කරමි. ප්‍රජාතන්ත්‍රවාදය යනු නිදහස අගයන මතවාදයක් නොව බහුතරයේ කැමැත්ත සහ පාලනය අගයන මතවාදයකි.

Comments

  1. දේශපාලන ක්‍රමයක් ලෙසට ප්‍රජාත්ත්‍රවාදයට එකඟ විය හැක. නමුත් එය වඩා පූර්ණ සහ ඵලදායි වීමට නම් පුද්ගල නිදහස තෝරාගැනීමේ කැමැත්ත සතුට සෙයායාමේ නිදහස දේපොල නිදහස වැනි අංග වලින් සම්න්විය යුතුව ඇත.එසේ නොමැති ප්‍රජාතත්ත්‍රවාදය කොටියෙක් වලහෙක් සමග හාවකු ගන්නා රාත්‍රි භෝජනයකි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය

කූඹියෝ සහ පාදසටහන්