සයිටම් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල : ඒවායේ ප්‍රමිතීන්(?) සහ නිදහස් අධ්‍යාපනය
පෙරවදන
මා හට මෙම සමාජ-දේශපාලනික ගැටලුව ගැන එතරම් දැනුමක් නැත. පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නා මම මෙම ලිපිය මඟින් සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් නිස්කාරණේ සහය දක්වන්නේ නැත. හුදෙක් මෙම ගැටලුව මා හට වැටහී තිබෙන ආකාරය සහ එය විසඳීම සඳහා මම මා හට වැටහෙන ආකරයෙන් ගොඩනැඟූ තර්ක කිහිපයක් මෙම ලිපියෙහි අඩංගු ය.
ඔබේත් මගේත් දැනුමේ දියුණුව සඳහා මෙම ලිපිය සංවාදයට විවෘත කරන අතර මෙම ලිපියෙහි සඳහන් දෑ කෙරෙහි ඉදිරිපත් වන විවේචන සහ විචාර මම බෙහෙවින් අගය කරන්නෙමි.
S තුනේ කතාව
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරන අයුරින් රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට ඇති අවම සුදුසු කම උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා ගැනීම යි. වෛද්‍ය පීඨ වලට ඇතුළු වීමට තිබෙන තරඟකාරිත්වය හේතුවෙන් බඳවාගන්නා සිසුන් ප්‍රමාණය අඩු කිරීමට එම සභාවට සිදුවීම සුලභ දෙයකි. එම නිසා වෛද්‍ය පීඨයෙහි ඉගෙනගැනීමට සුදුසුකම් ලැබීම සඳහා ඉහළ ඉසෙඩ් අගයක් නිර්දේශ කිරීමට සිදු වන බව මාගෙ වැටහීම යි. ඉහළ ඉසෙඩ් අගයක් සඳහා ඉහළ ප්‍රතිපලයක් අවශ්‍ය වන අතර මෙම ප්‍රතිපලයෙන් පෙන්නුම් කරනවා යැයි හැඳින්වෙන දැනුම රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට අවම දැනුම නොවන බව විශ්ව විද්‍යාල කොමිෂන් සභාව විසින් නිර්දේශිත අවශ්‍ය අවම උසස් පෙළ ප්‍රතිපලය මඟින් ඔප්පු වන බව මම විශ්වාස කරමි. එනම් A සාමාර්ථ තුනක් ගත් අයදුම්කරුවෙකුට ද සාමාන්‍ය (S) සාමාර්ථ තුනක් ගත් අයදුම්කරුවෙකුට ද රජයේ වෛද්‍ය පීඨයකට අයදුම් කළ හැක. සාමාන්‍ය සාමාර්ථ තුනක දැනුම සරිලන නමුත් ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය සීමා කරගැනීම සඳහා ඉහළ ඉසෙඩ් ලකුණු ගන්නා අයදුම්කරුවන් පමණක් තෝරාගනු ලැබේ.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ නිර්ණායකයන්ට අනුව පෞද්ගලික විශ්ව විද්‍යාල වල වෛද්‍ය විද්‍යාව හැදෑරූ වෛද්‍යවරුන් හට දේශීයව ලියාපදිංචි විය හැක්කේ ඔවුනට අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් අවම වශයෙන් C සාමාර්ථ දෙකක සහ එක් S සාමාර්ථයක ප්‍රතිපලයක් තිබුණොත් පමණි. සයිටම් විශ්වවිද්‍යාලයෙන් බිහි වන උපාධිධාරීන් මෙම සුදුසුකම මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් හඳුන්වා දෙන ලද අන් සුදුසුකම් ද සපුරා ඇත් බව තහවුරු කිරීම වෛද්‍ය සභාවේ වගකීමක් බව මම විශ්වාස කරමි. එසේ වූ කල්හි සයිටම් විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන වෛද්‍ය උපාධියෙහි ගුණාත්මක බව පවතින ප්‍රමිතීන්ට ලඟා කර හැකි බව මාගේ අදහසයි.
සයිටම් හෝ වෙනත් විශ්වවිද්‍යාලයක් මඟින් ලබාදෙන වෛද්‍ය උපාධිය ගුණාත්මක නොවේ නම් එයට විසඳුම පෞද්ගලික වෛද්‍ය පීඨ පිහිටුවීම නැවතීම නොවන බව මම විශ්වාස කරමි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් එවැනි වෛද්‍ය උපාධියක් පිළිනොගන්නේ නම් එවැනි උපාධි පාඨමාලාවක් හදාරා ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමෙන් ඇති ඵලක් නැති බව මා හට වැටහේ. මන්ද යත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් ලංකාවේ රෝහල් සේවය සඳහා බඳවාගන්නේ ඉතා කලාතුරකින් බැවිනි.
නිදහස් අධ්‍යාපනය කප්පාදු වීම (?)
අවම වශයෙන් පාසල් අධ්‍යාපනය දක්වා නිදහස් අධ්‍යාපනය ඇති බොහෝ රටවල් වල නිදහස් අධ්‍යාපනය සපයන්නේ එම රටවල් වල රජයන් මඟින් ය. ශ්‍රී ලංකාවේ ද එසේ බව පැවසීමේ වරදක් මා දකින්නේ නැත. පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම මඟින් රජය විසින් සපයන නිදහස් අධ්‍යාපනය හට අහිතකර බලපෑම් එල්ල වන්නේ මන්දැයි මම නොදනිමි. එසේ වනවා නම් වන්නේ ආණ්ඩුව විසින් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල් පෞද්ගලික අධ්‍යාපන වෙනුවෙන් වැය කිරීම ය. එක්තරා එය ආණ්ඩුව කරන වැරැද්දකි; එනම් නිදහස් අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් වැය කිරීමට නියමිත මුදල් පෞද්ගලික අධ්‍යාපනය සඳහා වියදම් කිරීම ය. අනිත් අතින් බැලූ විට මා හට එහි ප්‍රයෝජනයක් ද පෙනෙයි; එනම් ආණ්ඩුව විසින් ස්ථාපිත පෞද්ගලික අධ්‍යාපන වැඩසටහන් මඟින් උපයන ලාභ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට හැකි වීම ය. එය කෙසේ නමුත් පෞද්ගලිකව තැනූ අධ්‍යාපන ආයතන මඟින් ලබා දෙන පෞද්ගලික අධ්‍යාපනය ආණ්ඩුව මඟින් ලබා දෙන නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට නොහැකි බව මම විශ්වාස කරමි. මාගේ අදහස නම් නිදහස් අධ්‍යාපනය කප්පාදු කරනවා නම් එසේ කළ හැකි එකම සහ බලවත්ම පාර්ශවය ආණ්ඩුව බවයි.
නිදහස් අධ්‍යාපනය මෙයින් කප්පාදු වන්නේ කෙසේදැයි මම නොදනිමි. එහෙත් නිදහස් අධ්‍යාපනය සහ එය මත යැපෙන සිසුවන්ගේ සුභසිද්ධිය උදෙසා වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීම වැනි දීර්ඝ කාලීන කටයුතු උදෙසා රජයෙහි අවධානය යොමු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම පෞද්ගලික වෛද්‍ය පීඨ වල පිහිටුවීමට එරෙහිව ක්‍රියාකාරී වීමට වඩා ඵලදායි වන බව මම විශ්වාස කරමි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ තම නිළ වෙබ් අඩවියේ මෙම අරමුණ ඉටු කිරීම උදෙසා කටයුතු ඉටු කිරීමට පෙළඹී ඇති බව සඳහන් කොට ඇත. එය මම අගය කරමි. එමෙන්ම මෙම කාර්යයෙහි මා දකිනා කාරණා දෙකක් ඇත : පළමුවැන්න නම් එයට වැඩි පිරිවැයක් ආණ්ඩුව විසින් දැරිය යුතුය; එම නිසා ආණ්ඩුව තම ප්‍රධාන උපාය මාර්ගය වන බදු ගාස්තු වැඩි කළ යුතු ය. දෙවැන්න නම් මෙය ඉහළ සාර්ථක මට්ටමක් ලබාගැනීමට (එනම් උසස් පෙළ සමත් සිසුන් බහුතරයට විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා දීම ) සැලකිය යුතු කාලයක් ගත වේ. එතෙක් කල් ගත වන විට ඇතැම්විට උසස් පෙළ විභාගය එක දිගට තුන් වරක් ලියූ පුද්ගලයෙක් තමන්ට වුවමනා පාඨමාලාව සඳහා ප්‍රවේශ අවස්ථාවක් නොලැබීම නිසා රැකියාවන් හි නිරත වී තමන් ප්‍රිය කරන පාඨමාලාව පෞද්ගලික විශ්වවිද්‍යාලයක හැදෑරීමට තරම් වත්කමක් උපයා තිබෙන්නට පුළුවන. එවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයක පිළිගත් පාඨමාලාවක් හැදෑරීමට ඇරෙන්න ඔහුට/ඇයට ඇති වෙනයම් පිළියමක් නැත. මෙය මා හට නිදහස් අධ්‍යාපනය හදාරන්නෙකු ගැන අනුමාන කළ හැකි අවාසිදායක ම සංසිද්ධියයි. එම නිසා පෞද්ගලික අධ්‍යාපනයක් තිබිය යුතු බව මම විශ්වාස කරමි.
දුප්පත් ශිෂ්‍යයන් බොහො විට උසස් අධ්‍යාපනය සඳහා සරණ පතන්නේ නිදහස් අධ්‍යාපනයෙන් බව මම දනිමි. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කරන ආයතන දෙක නම් අධ්‍යාපන අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයයි. එම නිසා නිදහස් අධ්‍යාපනයේ නිවැරදි ක්‍රියාකාරිත්වය පිළිබඳ සෘජු වගකීම ඇත්තේ එම ආයතන දෙක හට ය. පෞද්ගලික විශ්වවිද්‍යාල පවතින්නේ රජය විසින් උසස් පෙළ සමත් ශිෂ්‍යයන් හට පූර්ණ ලෙස විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා නොදෙන නිසා ය. යම් කාලයක් ගත වී හෝ එසේ ලබා දෙන්නේ නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි අවශ්‍යතාවය කෙමින් කෙම මැකී යනු ඇත. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය බහුතර ශිෂ්‍ය සංඛ්‍යාවකට ලබා දීම වැනි භාරදූර කටයුත්තක් හට බොහෝ කල් ගත වේ.
නුසුදුස්සන් දොස්තරවරු වීම...
මෙම ගැටලුව දැනට බලපාන්නේ සයිටම් ආයතනය හට පමණක් බව මම දනිමි. සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් බිහි වන වෛද්‍යවරුන්ගේ සුදුසුකම ගැන මාහට දැනුමක් නැත. එම නිසා ඔවුන්ගේ සුදුසු/නුසුදුසු භාවය ගැන මම කිසිඳු තර්කයක් නොනඟමි.
විවිධ වෘත්තිකයන් නියෝජනය කරන වඩාත් පිළිගත් වෘත්තිමය ආයතන ඇත. මා දන්නා අයුරින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නියෝජනය කරන වඩාත් ම පිළිගත් වෘත්තිමය ආයතනය වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යි. එය හට ව්‍යවස්ථාමය බලතල ද ඇත. මා හට වැටහෙන තරමින් එම සභාවේ අනුමැතිව සහිත ව ලියාපදිංචි නොවූ වෛද්‍යවරයකු හට මෙ රට තුළ වෛද්‍ය වෘත්තියේ නියැළීමට නීතියෙන් ඉඩ නොදේ. එය වෛද්‍ය සභාව සතු ව්‍යවස්ථාමය බලයකි. එම බලයත් සමඟම ඔවුන් හට වගකීමක් ද බැඳී ඇත; එනම් සරලව පැවසුවහොත් සුදුස්සන්ට සුදුසු තැන දීම ය.
සයිටම් විශ්වවිද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය උපාධිධාරීන්ගේ සුදුසු/නුසුදුසු භාවය තීරණය කිරීමට වෛද්‍ය සභාව හට බලයක් ඇත. එම බලය යොදාගෙන සුදුස්සන් තේරීම සඳහා ඊ.ආර්.පී.එම්(ERPM) විභාගය පැවැත්වීම වැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීම ඔවුන් සතු ය. ඔවුන් "නුසුදුස්සන්" හට ලියාපදිංචි වීම සඳහා අවසර නොදෙන්නේ නම් එම "නුසුදුස්සන්" වෛද්‍ය වෘත්තියෙහි නියැළීම සෑහෙන්න ප්‍රමාණයකින් අඩු වනු ඇත. මෙම ක්‍රමවේදය තැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වෛද්‍ය ශිෂ්‍ය කමිටුව වැනි ආයතනයන්හි සහය පැතීම මඟින් බොහෝ වැරදී වැටහීම් මඟහරවා ගැනීමට වෛද්‍ය සභාවට හැකි වන බව මම විශ්වාස කරමි.
විසඳුම ?
සයිටම් විශ්වවිද්‍යාලය මඟින් නිසි වෛද්‍ය අධ්‍යාපනයක් තම සිසුන් හට ලබා නොදෙන්නේ නම් ඔවුන් පිට වන්නේ නුසුදුස්සන් ලෙස ය. වෛද්‍ය සභාව මඟින් ඔවුන් නුසුදුස්සන් මෙන්ම ඔවුන්ගේ උපාධිය ප්‍රමිතිය අඩු එකක් බව නිර්ණය කිරීමෙන් එවැනි "නුසුදුසු" වෛද්‍යවරුන් වෛද්‍ය වෘත්තියෙ නියැළීම බෙහෙවින් අඩු වේ. එමෙන්ම සයිටම් විශ්වවිද්‍යාලය කෙරෙහි ඇති ඉල්ලුම ද කෙමෙන් කෙම නැති වනු ඇත.
සයිටම් වැනි පෞද්ගලික විශ්වවිද්‍යාල තුළින් නිදහස් අධ්‍යාපනය කප්පාදු වීමක් වන්නේ නැත. නිදහස් අධ්‍යාපනය ලබා දීම පිළිබඳ පූර්ණ වගකීම ඇත්තේ රජය තුළ මිස වෙනත් කිසිඳු ආයතනයක නොවේ. රජය තම වියදම් ප්‍රතිසංස්කරණයට ලක් කොට අධ්‍යාපනයට වැඩි වියදමක් යොමු කොට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා පහසුකම් වැඩි කළ හැක. එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැකි වාර ගණනෙහි සීමාව ඉවත් කිරීමෙන් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල සඳහා සිසුන් හට ප්‍රවේශ වීමට හැකියාව තවත් වැඩි කර ගත හැක. එමෙන්ම වෛද්‍ය සභාවෙහි ස්වාධීනත්වය ශක්තිමත් කිරීම තුළින් සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල උපාධි වල ප්‍රමිතිය දේශපාලනික අතපෙවීම් වළින් තොරව සහතික කළ හැක.
Comments
Post a Comment