වහබිවාදය හෙවත් අයිසිස් ත්‍රස්තයන්ගේ ආගම



ත්‍රස්තවාදයෙහි නිර්වචනය පිළිබඳ විවිධ අර්ථකතන ඇත. එය කෙසේ නමුත් පොදුවෙ ගත් කල දේශපාලන අරමුණක් ඉටු කරගැනීම උදෙසා යම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් ප්‍රචණ්ඩාකාරී ක්‍රියා වල නියැලීම ත්‍රස්තවාදය ලෙස සැලකිය හැක. ලොව මෙතෙක් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වූ නොයෙකුත් පුද්ගලයින් හා සංවිධාන මෙවැනි ක්‍රියා වළ නියැලුණු අය වෙයි.

අයිසිස් වැනි ඉස්ලාමික අන්තවාදී ත්‍රස්තවාදී සංවිධාන හට දේශපාලන අරමුණු ඇත. ඔවුන්ගේ අන්තවාදී අදහස් වලින් ගොඩනැඟුණු රාජ්‍යයන් තනා ගැනීම උදෙසා යුද වැදීම, සිවිල් ජීවිත හට හානි සිදු කිරීම වැනි දෑ ඔවුන් විසින් සුලභව අනුගමනය කරන ක්‍රියාමාර්ග වේ. අයිසිස් සංවිධානය මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියා වල නියැලෙන්නෙ හුදු මුදල් සහ බලයට කෑදරකමින් නොවේ. ඔවුනට ඉටු කරගැනීමට අවශ්‍ය දේශපාලන අරමුණක් ඇත. එම අරමුණ පිටුපස ආගමික ආභාෂයක් ලැබූ මතවාද සමූහයක් ඇත.

අයිසිස් සංවිධානයේ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනක්

අයිසිස් සංවිධානය බිහිවන්නෙ 1999 දී ය. ඒ අබු මුසාබ් අල් සර්කාවී (Abu Muzab al Zarqawi) නම් ජිහාඩ්වාදීයාගෙ නායකත්වය යටතේ ය. එකල මෙම සංවිධානය නම් කරන ලද්දේ ජමාත් අල් තව්හීද් වා අල් ජිහාඩ් (Jama'at al-Tawhid wal-Jihad) ලෙස ය. මෙය අරාබි නමක් වන අතර එහි පරිවර්තනය වන්නේ "එක් දෙවියෙකුගේ ආඥා යටතේ එන ජිහාඩ් සංවිධානය" (Organization of Monotheism and Jihad) යන්න ය. එවකට දී මෙම සංවිධානය එතරම් විශාල එකක් නොවූ අතර වසර ගණනාවක් යනතුරු ජාත්‍යන්තර අවධානයට ලක්වන ආකාරයේ ප්‍රබල ප්‍රහාරයක් මෙම සංවිධානය විසින් දියත් කරේ නැත.

1999 සිට මෙම සංවිධානය තම කටයුතු පවත්වාගෙන ගියේ ඉරාකයේ ය. 2003 සිට ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා වලට ද, ෂියා මුස්ලිම් දේවස්ථාන වලට ද ප්‍රහාර මෙම සංවිධානය විසින් දියත් කරන ලදී. 2004 වර්ෂයේදී  මෙම සංවිධානය අල් කයිඩා ත්‍රස්ත සංවිධානයට සහය පලකරන ලදී. මෙමඟින් මෙම සංවිධානයට හට ඉරාක අල් කයිඩා සංවිධානය (Al-Qaeda in Iraq - AQI) යන අන්වර්ථ නාමය හිමිවන ලදී. 2006 දී AQI හි නායකයා වූ මුසාබ් අල් සර්කාවි ඇමෙරිකානු හමුදා විසින් එල්ලකරන ලද ගුවන් ප්‍රහාර වලින් මරුමුවට පත් වන අතර එහි නව නායකයා ලෙස අබු අයුබ් අල් මස්රි පත්වුණි.

2006 සිට 2013 දක්වා ගත වුණු කාලවකවානුවේදී මෙම සංවිධානය සීඝ්‍රයෙන් වර්ධනය විය. ඉරාකයේ අල් කයිඩා යන අන්වර්ථ නාමය පසෙකලා ඉරාකයේ ඉස්ලාමික රාජ්‍යය (Islamic State of Iraq - ISI) යන නාමය  මෙම සංවිධානය තමන් හැඳින්වීමට යොදාගත්තේ ය. ඉරාකයේ සදාම් හුසේන්ගේ රෙජිමය කඩාවැටීමත් සමඟ ඇති වූ දේශපාලනික අස්ථාවරත්වය මධ්‍යයේ අයි.එස්.අයි සංවිධානය විසින් එම රෙජිමයෙහි සේවය කරන ලද විවිධ තලයේ හමුදා නිලධාරීන් බඳවාගන්නා ලදි. එමෙන්ම ISI සංවිධානය සිරියාව තුළ දී හටගත් යුදමය තත්වය ප්‍රයෝජනයට ගෙන සිරියාව තුළට තම ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් යවන ලදී. මෙමඟින් තම පිරිස්බලය විශාල ප්‍රමාණයකින් වැඩි කරගැනීමට අයි.එස්.අයි සංවිධානයට හැකිවිය.2010 වසරේදී නායකත්වයට පත්වන අබු බකර් අල් බග්ඩාඩී අයි.එස්.අයි සංවිධානයේ නාමය අයිසිස් (ISIS - Islamic State of Iraq and Syria) ලෙස ද පසු ව අයිසිල් (ISIL - Islamic State of Iraq and the Levant) ලෙස නම් කරන ලදි. වර්තමානයේ අයිසිස් සංවිධානයේ නායක ලෙස ඔහු තවමත් කටයුතු කරයි.

2014 වර්ෂයෙහි අග භාගය වන විට අයිසිල් සංවිධානය මොසුල් (Mosul), ෆලූජා (Fallujah) වැනි ඉරාකයේ ප්‍රධාන නගර තම ග්‍රහණයට නතු කරගන්නා ලදී. තව ද අයිසිස් සංවිධානය අයි එස්  (IS - Islamic State) සංවිධානය ලෙස අවසාන වශයෙන් නම් කරන ලදි. මෙහි අරුත ඉස්ලාමික රාජ්‍යය යන්න ය. මෙම නම් කිරීමට හේතුව වූයේ මෙම සංවිධානය ඉරාකය හා අවට ප්‍රදේශයට පමණක් සීමා නොවී මුළු ලොවටම තම රාජ්‍යය පැතිරිවීම තම අරමුණ කරගැනීම ය. 2015 වසර ආරම්භ වන විට ලිබියාවෙ ඇතැම් ප්‍රදේශ ද, ඉරාක දේශසීමාවට ළඟින් පිහිටා ඇති සිරියානු නගර ද තම ග්‍රහණයට නතු කරගැනීමට IS සංවිධානයට හැකියාව ලැබෙන අතර ඇමෙරිකාව විසින් සහය දක්වන නිදහස් සිරියානු හමුදාව (Free Syrian Army - FSA) වැනි සන්නද්ධ සංවිධාන IS සංවිධානයේ පාලන ප්‍රදේශ මුදා ගැනීමට උත්සාහ කළ ද ඒවා අසාර්ථක විය. කෙසේ නමුත් ඇමෙරිකානු හමුදාවෙ ගුවන් ප්‍රහාර සහ ඉරාක හමුදාව විසින් දියත් කෙරුනු මෙහෙයුම් හමුවේ IS සංවිධානයට 2015 වර්ෂය අග භාගයේ සිට ඉරාකයේ පිහිටි තම පාලන ප්‍රදේශ ගිලිහී යන්නට පටන් ගත් අතර 2017 ජූලි වන විට ඉරාකයෙ පිහිටි සියලු පාලන ප්‍රදේශ තම අතින් ගිලිහී ගියේය. මෙම කාලයේදී IS රුසියාවේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු මෙහෙයුම් හමුවේ සංවිධනයට සිරියාව තුළ පිහිටි තම පාලන ප්‍රදේශ ද ගිලිහී ගියේය.

වර්තමානයේ දී අයිසිස් සංවිධානය කිසිඳු ප්‍රදේශයක් පාලනය නොකරනු ලබන අතර එය කුඩා කණ්ඩායම් වශයෙන් ලොව පුරා පැතිර ඇත.

අයිසිස් සංවිධානයේ අරමුණ

ලොව මෙතෙක් පැවති වෙනත් බොහෝ ත්‍රස්තවාදී සංවිධාන මෙන් අයිසිස් සංවිධානයට ධනය සහ බලය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. එනමුත් එය ඔවුන්ගේ අරමුණ ලෙස හැඳින්විය නොහැක. වෙනත් ඕනෑම ත්‍රස්තවාදී සංවිධානයකට මෙන් අයිසිස් සංවිධානයට තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට ධනය සහ බලය අවශ්‍යය ය.

සරල වශයෙන් පවසනවා නම් අයිසිස් සංවිධානයේ අවසන් දේශපාලනික අරමුණ වන්නේ ලොව පුරා ඉස්ලාමික රාජ්‍යයක් ස්ථාපිත කිරීම ය. ඔවුනගේ ඉස්ලාමික රාජ්‍යය ස්ථාපිත කිරීමට නම් අවිශ්වාස කරන්නන්ගේ රාජ්‍යයන් විනාශ කර දැමිය යුතු වේ. මෙහි මොවුන් අවිශ්වාස කරන්නන් යැයි හඳුන්වන්නේ ඔවුන් විසින් අදහන මධ්‍යතන යුගයේ පැවති ඉස්ලාමික ප්‍රතිපත්ති සහ නීති රීති අනුගමනය නොකරන පුද්ගලයන් ය. මේ ගණයට ශියා මුස්ලිම්වරුන් ද, සුන්නි නිකායට අයත් බොහො ඉස්ලාම් ආගමිකයන් ද අයත් වේ.

අයිසිස් සංවිධානයේ මෙම අරමුණට ප්‍රධාන වශයෙන් තුඩු දෙන මතවාදයන් ලෙස වහාබිවාදය සලාෆිවාදය ගත හැක. මෙම මතවාදයන්හි සඳහන් මධ්‍යතන යුගයේ පැවති ඉස්ලාමික රාජ්‍යයක් මෙන් ලෝක ඉස්ලාමික රාජ්‍යයක් ස්ථාපිත කිරීම ඔවුනගේ අරමුණ ලෙස සැලකිය හැක. ඉරාකය සහ සිරියාව තුළට විදෙස් මැදිහත්වීම යොමුවීම අයිසිස් සංවිධානය දකින්නේ විශ්වාස කරන්නුන් සහ අවිශ්වාස කරන්නුන් අතර ඇතිවන්නට යන අවසාන මහා යුද්ධය ලෙස ය.

වහබිවාදය, සලාෆි ව්‍යාපාරය සහ ජිහාඩය

අයිසිස් සංවිධානයේ ත්‍රස්තවාදී  මතවාදය ගොඩ නැඟීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ අතිශය ගතානුගතික සහ මර්දනකාරී මතවාදයක් වන වහබිවාදය (Wahhabism)  බව විද්වත් මතය යි. මෙම මතවාදය ඉස්ලාම් ආගම පිළිබඳ දරන්නෙ ඉතා දැඩි, එකාධිපති ප්‍රතිපත්ති ය. සෞදි අරාබිය වැනි රටවල් වල පාලනය සහ නෛතික පසුබිම සකස්වී ඇත්තේ වහබිවාදය කේන්ද්‍ර කරගෙන ය. මෙවැනි රටවල් නොයෙක් ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධාන හට සහය දෙන්නේ මේ නිසා ය.  අල් කුරාණය සඳහන් මධ්‍යතන යුගයේ දී මැදපෙරදිග තිබූ යුදමය වාතාවරණය හමුවේ මුස්ලිම්වරුන් අනුගමනය කළ යුතු විවිධ උපක්‍රම සහ වත් පිළිවෙත් ඇසුරෙන් නූතන ලෝකයේ මුසල්මානුවා කටයුතු කළ යුතු බව වහබිවාදය සහ සලාෆිවාදය සතු පොදු විශ්වාසයකි.

වහබිවාදයේ ආරම්භය සනිටුහන් වන්නේ 18 වන සියවසේ දී  සෞදි අරාබියේ දී ය. වහබිවාදයේ නිර්මාතෲ වශයෙන් සැලකෙන්නෙ මුහම්මද් ඉබ්න් අල් වහබ් ය. එවකට මුස්ලිම් ලෝකය තුළ සිදු වූ නොයෙකුත් සංවර්ධනයන් කෙරෙහි මොහු දැරුවේ විරුද්ධවාදී මතයකි. ඔහුට අනුව කිසියාම් විද්‍යාත්මක දියුණුවකට දායක වීම හෝ වෙනත් නවීකරණයක නියැලීම ඉස්ලාම් ආගම පාවාදීමකි. එවකට ඉස්ලාම් ලොව තුළ සිදු වූ නොයෙකුත් සමාජ්‍යයීය, දේශපාලනික සහ ආර්ථික විපර්යාසයන් මොහු අනුමත නොකළේය. එවකට පැවති නොයෙක් සුන්නි මෙන්ම ශියා මුස්ලිම් කණ්ඩායම් මුහම්මද් ඉබ්න් අල් වහබ්ගේ අදහස්වලට පටැහැනි ව ක්‍රියාත්මක කළ අතර එවකට පැවති ප්‍රබල මුස්ලිම් අධිරාජ්‍යයක් වූ තුර්කි අධිරාජ්‍යය ද මෙ නව වහබිවාදී මතවාදයට අනුව වැරදිකරුවන් ය.

මෑත කාලයේදී අයිසිස් සංවිධානය විසින් තම පාලන ප්‍රදේශයේදි තිබුණු අන්‍යාගමික සිද්ධස්ථාන, ආගමික ශාස්තෲවරුන් සහ දෙවිවරුන් නියෝජනය කරන ප්‍රතිමා විනාශ කරේ ද, සුන්නි නිකායට අයත් නොවන මුස්ලිම් වරුන් ඇතුළුව මිත්‍යාදෘෂ්ටිකයන් යැයි හැඳින්වෙන අන්‍යාගමිකයන් ඝාතනය කරේ ද, සෞදි අරාබියේ නීති වලටත් වඩා පීඩාකාරී නීති තම පාලන ප්‍රදේශයන්ට හඳුන්වා දුන්නේ ද ඔවුන් වහබි මතවාදයේ දැඩි අනුගාමිකයන් වන නිසා ය. සෞදි අරාබිය ඉස්ලාමික රාජ්‍යයක් ලෙස අයිසිස් සංවිධානය පිළි නොගන්නෙ එම රටෙහි පවතින නීති රීති ඔවුනට අනුව දැඩි නොවන නිසා ය.

ජිහාඩ් (Jihad) යනු මුස්ලිම් ලොව විසින් දියත් කරන ආගමික යුද්ධයකි. විවිධ ඉස්ලාමික ආගමික නිකායන් ජිහාඩ් යන්නට විවිධ අරුත් සහ නිර්වචන දී ඇත. වහබිවාදී සහ සලාෆිවාදී නිකායන් සඳහා ද ආවේණික වූ ජිහාඩ් සංකල්ප ඇත.

සලාෆි ව්‍යාපාරය (Salafi Movement) යනු 19 වන සියවසයේ ඊජිප්තුවේ ආරම්භ වුණු ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකි. සලාෆි ව්‍යාපාරය ආරම්භ වුණේ අධිරාජ්‍යවාදයට එරෙහිව මුස්ලිම් ලොව තුළ නැඟුණු ප්‍රතිචාරයක් ලෙසිනි. සලාෆි ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ වන්නේ සුන්නි මුස්ලිම් ලොව විසින් අදහන ඉස්ලාම් ධර්මය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමයි. සලාෆි ව්‍යාපාරය විසින් හඳුන්වා දෙන ප්‍රතිසංස්කරණ වහබිවාදී වූ අතර සලාෆි ව්‍යාපාරයෙ පොදු මතය වූයේ වහබිවාදය තම ව්‍යාපාරයට ගැළපෙන බවය. වහබිවාදය ප්‍රචලිත වන්නට සලාෆි ව්‍යාපාරයෙ කටයුතු බොහෝ සේ බලපාන ලදි.

අල් කයිඩා, තලේබාන් වැනි ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධාන බොහෝමයක් වහබිවාදය තරයේ විශ්වාස කරති. ඔවුනගේ අවසාන අරමුණ ද අවසානයේ ලොව තුළ ඉස්ලාමික රාජ්‍යයක් ඇති කිරීමය. අයිසිස් සංවිධානය අල් කයිඩා සංවිධානය වැනි සංවිධාන හා ප්‍රධාන වශයෙන් වෙනස් වන්නේ ඔවුනගේ අවසාන අරමුණ ඉටුකරගැනීමට අනුගමනය කරන පිළිවෙත අනුව ය. අල් කයිඩා සංවිධානය තම අරමුණ ඉටු කරගැනීම උදෙසා මුස්ලිම් ලොවෙන් සහය ලබාගන්න උත්සාහ කරන්නේ ප්‍රචාරක කටයුතු දියත් කරමින් සිත් දිනාගැනීමෙන් ය. අයිසිස් සංවිධානය ඊට හාත්පසින්ම වෙනස් ය. අබු බකර් අල් බග්ඩාඩි ගේ නායකත්වයන් යුත් අයිසිස් සංවිධානය තම අරමුණ ඉටු කරගැනීම සඳහා යොදාගන්නේ මර්දනය ය. මෙය කෙතරම් අමානුෂික වුව ද අයිසිස් සංවිධානයට මෙය ඉතා සාර්ථක උපක්‍රමයක් විය.


මතවාදී යුද්ධය සහ අයිසිස් සංවිධානයේ අනාගතය

වර්තමානයේ දී අයිසිස් සංවිධානය පාලන බලය අතින් ඉතා දුර්වල මට්ටමක පවතින අතර ඔවුන්ගේ යුදමය හැකියාව පවතින්නෙ ඉතා අවම මට්ටමක ය. ලෝක බලවතුන්ගේ සහය ඇතිව මුස්ලිම් ලොව තුළ ඔවුනට එරෙහිව දියත් වූ යුදමය මෙහෙයුම් අයිසිස් සංවිධානයේ කඩාවැටීමට මූලික හේතුව විය. වර්තමානයේ අයිසිස් සංවිධානයට සහය පළ කරන ත්‍රස්තවාදී කණ්ඩායම් ලොව පුරා විසිර සිටියි. ශ්‍රී ලංකාවෙ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වලට වග කියන ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය ද එවැනි සංවිධානයකි.

ජාතික තව්හීද් ජමාත් සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධාන යුදමය උපක්‍රම මඟින් පරාජය කළ හැක. මෙය කෙටි කාලීන විසඳුමකි. මන්ද යත් අයිසිස් සංවිධානයේ බලපෑම් වලට එරෙහිව දීර්ඝ කාලීනව සටන් කළ යුතු නම් ඔවුනට එරෙහිව ලොව තුළ මතවාදී යුද්ධයක් ගෙන යා යුතු ය. වර්තමානයේදී අයිසිස් සංවිධානය තම අධිකාරිය සදා ගන්නේ තම වහබිවාදී මතවාදය නොයෙකුත් සන්නිවේදන සහ තොරතුරු මාධ්‍යය ඔස්සේ පැතිරීමෙනි. අයිසිස් වැනි ත්‍රස්තවාදී සංවිධානවල බලපෑම් අවම කිරීමට වහබිවාදී මතවාදය පරාජය කිරීම වැදගත් ය.

ශ්‍රී ලංකාවෙ ද වහබිවාදය පතුරුවන නොයෙක් පුද්ගලයන්, ආයතන පිළිබඳ අවදානයෙන් සිටිය යුත්තේ මේ නිසා ය. ශ්‍රී ලංකාවෙ ප්‍රහාර වලට වග කිව යුත්තන් වහබිවාදී ත්‍රස්තවාදයට නැඹුරු වූයේ අහම්බෙන් නොවේ. ඔවුන් හට නිතර වහබිවාදී මතයන් දෙසමින් ඔවුන්ව ත්‍රස්තවාදය දෙස යොමු කරන්නට අදාළ අන්තවාදී පාර්ශව හට හැකි විය. මෙවන් අන්තවාදී ප්‍රකාශ ශ්‍රී ලංකාවෙ සයිබර් අවකාශය තුළ ඕනෑ තරම් සැරිසැරුවේ ය. ඒ අද ඊයේ පටන් නොව අවුරුදු ගණනාවක් සිට ය. තොරතුරු තාක්ෂණයෙ දියුණුවත් සමඟ බොහෝ ත්‍රස්තවාදී සංවිධාන තම ප්‍රචාරක කටයුතු ගෙන යන්නේ සයිබර් අවකාශයේ ය. සයිබර් සහ වෙන්නත් සන්නිවේදන මාධය තුළින් ගෙන යන තොරතුරු යුද්ධය ලංකාවටත් පැමිණ ඇත. වර්තමානයේ දී අයිසිස් වැනි ත්‍රස්තවාදී සංවිධානවල ට එරෙහිව යන මතවාදී යුද්ධයේ ප්‍රධානතම යුදබිමක් වන්නේ සයිබර් අවකාශයයි.



වැඩිදුර කියවීම උදෙසා යොමුව:

1. McCants, W., 2015. The ISIS Apocalypse: The History. Strategy, and Doomsday Vision of the Islamic State
2.  
Gertz, B., 2017. IWar: War and Peace in the Information Age. Simon and Schuster.



















Comments

Popular posts from this blog

ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය

කූඹියෝ සහ පාදසටහන්