උත්සහවන්තයා ජයගනියි, නමුත්?
![]() |
Photo courtesy: WallpaperCave (www.wallpapercave.com) |
කතාව ආරම්භ වන්නේ ප්‍රධාන චරිතය වන ඇන්ඩෲ නීමන් ඇමෙරිකාවෙ පවතින ප්‍රමුඛ පෙළේ සංගීත විද්‍යාලයක සිසුවෙකු වී සිටි කාලයේ දී විද්‍යාල පරිශ්‍රයේ තනිවම ඩ්‍රම්ස් වාදනය පුහුණු වී සිටින දර්ශනයක් සමඟ ය. එහිදී ටෙරන්ස් ෆ්ලෙචර් නම් සංගීත ගුරුවරයෙක් ඔහු හමුවන අතර ටෙරන්ස් විසින් පුහුණු කරන සංගීත වාදන කණ්ඩායමෙහි පුහුණු වීමට ඇන්ඩෲට අවස්ථාවක් හිමි වේ. ටෙරන්ස් යනු දරදඬු ගුරුවරයා. තම සිසුන්ගේ වාදන හැකියාව අද්විතීය මට්ටමක තබාගැනීමට ඔහු විසින් දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබේ. ඔහු මෙසේ කරන්නේ අති දක්ෂ වාදකයන් බිහි කිරීමට ද, ඔහුගේ සංගීත දිවිය ඔප නැංවීමට ද නැත්නම් හුදෙක් සංගීතය කෙරෙහි ඇති ළැදියාව ද යන්න චිත්‍රපටිය තුළින් පැහැදිලි ව ඒත්තු ගන්වන්නේ නැත. ඇන්ඩෲ තම සංගීත විශ්වවිද්‍යාලයේ සංගීත වාදක කණ්ඩායමේ ප්‍රධාන ඩ්‍රම්ස් වාදකයාගේ තනතුර ලබාගැනීමට සහ රඳවාගැනීමට ඉමහත් වෙහෙසක් දරයි. ඒ තම ගුරුවරයා වන ටෙරන්ස්ගේ කායික සහ මානසික හිංසන මධ්‍යයේ තම වාදක කුසලතාවය විශිෂ්ට මට්ටමක තබාගැනීම මඟිනි. මෙසේ කිරීමේදී වෙනස් වූයේ ඇන්ඩෲගේ වාදක කුසලතාවය සහ ධෛර්යවන්ත බව පමණක් නොවේ. ඔහුගේ පෞරුෂය, මානසික සෞඛ්‍යය වැනි දෑ තුළ වෙනස් වීම් සිදු වූ හැටි චිත්‍රපටිය තුළින් මනාව එළි දැක්වේ.
විටෙක ටෙරන්ස් ෆ්ලෙචර් පිළිබඳ පැහැදීමෙන්, ඔහුව සතුට ට පත් කිරීමට තම වාදන හැකියාව දියුණු කෙරූ ඇන්ඩෲ පසු කලෙක ටෙරන්ස්ගේ පීඩාකාරී, අනුකම්පා රහිත ඉගැන්වීමේ ශෛලය අත් විඳි ඔහු තමන්ගේ වාදන හැකියාව වර්ධනය කිරීමට යෙදුණේ ටෙරන්ස්ට අභියෝගයක් ගෙන දීමට ය. ටෙරන්ස් විසින් තමන්ට කෙරූ නින්දා ගැරහිලි වලට උචිතම පලිගැනීම ලෙස ඇන්ඩෲ දුටු වේ එය ය. සිය නෑදෑහිතමිතුරන් ගෙන් දුරස් වෙමින්, සිය පෞද්ගලික දිවිය සම්පූර්ණයෙන්ම කැප කරමින් තම ශරීර සෞඛ්‍යය පිළිබඳ ව ද කිසිඳු තැකීමක් නොකිරීමෙන් ඇන්ඩෲ නීමන් තම සිහිනය වූ ජැස් සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ වාදකයෙක් වීම උදෙසා පුහුණුවීම් වල නිරත විය. සිය ජීවිතයේ බැඳීම් මෙම ඉලක්කයට බාධකයක් ලෙස ඔහු දුටුවේ ය. ඇන්ඩෲගේ පෞද්ගලික ජීවිතය දිගින් දිගටම අගාධයට පත් වීම පෙන්වූ මෙම චිත්‍රපටිය නිමා වන්නේ නරඹන්නන් හට යම් ආකාරයක සැනසිල්ලක් දෙමිනි. ඒ අවසානයේ දී ඇමෙරිකාවේ ප්‍රසිද්ධතම ජැස් සංගීත උත්සවයේදී ඇන්ඩෲ ලබා දෙන වාදනයත් සමඟ ය. අවසානයේදී ඇන්ඩෲ තමන්ගේ ඉලක්කය කරා ළඟා වූවා යැයි නිගමනයකට එළැඹිය හැකි බව මගේ වැටහීම යි.
අවසානයේදී ඇන්ඩෲ තම ඉලක්කය වෙත ගියේ ය. ඔහු ප්‍රවීණයන් අතරට එක් විය. ටෙරන්ස් හට තමන් අසමසම දක්ෂ වාදකයෙකු බව ඔහු ඔප්පු කරේය. උත්සහවන්තයෙකු වූ ඔහු ජයගත්තේ ය. එහෙත් එම ජයග්‍රහණය පැමිණියේ ඉතා විශාල අහිමිවීමක් සමඟ ය. ඇන්ඩෲ හට තම ජීවිතයේ බොහෝ දෑ අහිමි විය. ඔහු විසින් ඒවා අහිමි කරගත්තේ සර්වසම්පූර්ණ වාදකයෙකු වීමේ අරමුණ හේතුකොටගෙන ය. ඇන්ඩෲගේ චරිතයේ ප්‍රධාන සතුරා වූයේ මධ්‍යස්ථ බවයි. ටෙරන්ස්ගෙන් නින්දා ගැරහිලි ලැබෙන්න පටන් ගත් කල් සිට ඇන්ඩෲ හට තිබුණු එකම සහ ලොකුම බාධකය සාමාන්‍ය ජීවිතයයි. අසාමාන්‍ය සංගීතඥයෙකු ලෙස ඉතිහාසයට එක්වීමට ඔහුට මෙම දිවියට සමුදෙන්නට විය.
ඇන්ඩෲගේ මෙම කතාව ඉතිහාසයට එක්වූ බොහෝ විශිෂ්ට සංගීතඥයන්ගේ පොදු කතාවෘතාන්තය යි. සංගීතඥයන් නොව ලොව වෙනත් ක්ෂේත්‍ර වල ද උපරිම දක්ෂතා දැක්වූ පුද්ගලයන් බොහෝ දෙනෙක්ට ද මෙම කතාව පොදු ය. පෞද්ගලික දිවිය සහ වෘත්තීය දිවිය ඔවුනට දෙකක් නොව එකකි. පෞද්ගලික ජීවිතය සහ වෘත්තීය ජීවිතය අතර සමබරතාවයක් පවත්වා ගත යුතු බව යන මතය ඉතා ප්‍රසිද්ධ ය. මෙය වැදගත් ප්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකි මුත් මෙය පවත්වාගැනීමේ හැකියාව පුද්ගලයෙකුගේ හැකියාව සහ කැමැත්ත මත රඳාපවතියි. විශේෂයෙන්ම යම් ක්ෂේත්‍රයක අති දක්ෂයෙක් වීමේ දී මෙම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම අපහසු කටයුත්තකි. ඇතැම් විට මෙම ප්‍රතිපත්තිය අයින්ස්ටයින්, නිව්ටන් වැනි විද්‍යාඥයන් ද, මයිකල් ජැක්සන් වැනි ගායකයන් ද නිසි ලෙස අනුගමනය කෙරුවා නම් ඇතැම් විට ඔවුන්ගේ වැදගත් නිර්මාණයන් බොහෝමයක් ලෝකයා හට අහිමිවන්නට තිබුණි. උත්සාහවන්තයන්ගෙත් උත්සාහවන්තයා විසින් ගනු ලබන කැපකිරීම මෙය යි. විශිෂ්ටත්වයේ පිරිවැය මෙයයි. මෙම චිත්‍රපටිය මඟින් පෙන්නුම් කළේ මෙයයි. උත්සාහවන්තයා ජයගන්නා නමුත් ජයග්‍රහණය උදෙසා අහිමි කළ ගත යුතු දේවල් බොහෝම යි. විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන්ගේ ප්‍රබන්ධය මෙයයි.
Comments
Post a Comment