කූඹියෝ සහ පාදසටහන්





හැඳින්වීම

මෑතක දී ඉතා අන්දෝලනයට පත් වූ යම් මට්ටමක දේශපාලනික ක්‍රියාකාරියෙක් වූ පුද්ගලයෙක් ගේ අභාවය පිළිබඳව විවිධ අදහස් සයිබර් අවකාශයෙහි හුවමාරු වනවා ලේඛකයා දුටුවේ ය. පුද්ගලයෙකුගේ අභාවය පිළිබඳ ව සතුටු වීම පොදු මානව ධර්මතා වලට පටහැනි බව ලෙඛක මතය යි. කෙසේ නමුත් මියගිය පුද්ගලයෙකු හට ගෞරවය දැක්වීම හෝ නොදැක්වීම අතිශය පෞද්ගලික තීරණයකි. පුද්ගලයෙකුගේ අභාවයේදී විශාල පිරිසක් එය පිළිබඳ ව සතුටු වෙනවා නම්, එම පුද්ගලයා ජීවත් වූ ආකාරය ගැටලුකාරී විය හැක. අරගලයෙන් පසු "ජෙප්පන්" විසින් ඇති කෙරූ වෛරී සමාජ ආකල්ප මියයෑම් සැමරීමට හේතු වූවා යන මතය ලේඛකයා බැහැර කරයි. මන්ද යත් මෙරට ආන්දෝලාත්මක දේශපාලනික චරිත අභාවයට පත් වූ කල එම අභාවයන් සැමරූ මුල් සමය මෙය නොවන නිසා ය.

කුමන්ත්‍රණ සහ යථාර්තය

ජාතිකවාදී යැයි හඳුන්වාගන්නා විවිධ ආන්දෝලාත්මක සංවිධාන වල විවිධ මතභේදාත්මක කටයුතු වලට සහභාගී වීමට අප්‍රසිද්ධ වූ මෙම ලිපියෙහි ප්‍රස්තුත තරුණයාගේ ඝාතනයත් සමඟ එම ඝාතනය පිළිබඳ ව ශ්‍රී ලාංකික සයිබර් අවකාශයේ විවිධාකාරයේ මත පළ වූ අතර, ලේඛකයා විසින් නිතර දකින කුමන්ත්‍රණ න්‍යායයන් ද ඒවා අතර විය. කූඹියෝ වැනි ලාංකික කලාව තුළ දේශපාලනික ත්‍රාස (political thriller) ශෛලය ආරම්භ කිරීමට මූලික වූ ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි තුළින් ප්‍රසිද්ධ වුණු විවිධ කුමන්ත්‍රණ න්‍යයායන් ලාංකික දේශපාලනයේ ඇතැම් සිදුවීම් විග්‍රහ කිරීමට යොදාගැනීම නිරන්තරයෙන් ලේඛකයා හට නිරීක්ෂණය වුණි. මෙම තරුණයා ඝාතනය වීම පිළිබඳව හේතු සාධක අර්ථ දැක්වීමට ද "කූඹියෝ" වැනි ටෙලිනාට්‍ය තුළින් ප්‍රසිද්ධ වූ විවිධ කුමන්ත්‍රණ න්‍යයායන් යොදාගැනීම ලේඛකයා හට නිරීක්ෂණය වුණි.

මෙම කුමන්ත්‍රණ න්‍යායයන් හි පොදු අදහස වන්නේ මෙම තරුණයා විවිධ සිදුවීම් පිළිබඳව ඉතා බරපතළ සාක්ෂි සහිත ව මෙරට දේශපාලක පැලැන්තියට විශාල හානියක් ඇති කිරීමට හැකි බවයි. එනමුත් ලේඛක අනුමානය නම් එය එසේ නොවීමට ඉඩකඩ වැඩි බවයි. ඒ මන්ද යත් මෙම දේශපාලනික ක්‍රියාකාරියා විසින් නියෝජනය කරන ලද්දේ ශ්‍රී ලංකාවෙහි දේශපාලනයෙහි අතිශය ප්‍රාථමික ප්‍රාදේශීය මට්ටමෙහි "දේශපාලනික කුළී වැඩ" පන්තිය වීම ය. මෙරට වලව්, පක්ෂ, ගෝත්‍ර සහ වෙනත් කණ්ඩායම් විසින් මෙහෙයවන ජාතික දේශපාලනයෙහි ප්‍රස්තුත දේශපාලනික ක්‍රියාකාරියා අයත් වන්නේ පාදසටහනක් ලෙස ය. විවිධ දේශපාලනික ව්‍යාපාර මෙවැනි පුද්ගලයන් ඉතා සිල්ලර කටයුතු උදෙසා භාවිතා කොට පහසුවෙන් බැහැර කරයි. එබැවින් මෙය ජාතික දේශපාලනය හා බැඳුණු ඝාතනයක් බව ලේඛකයා විශ්වාස නොකරයි.


දේශපාලනික කුලී වැඩකරුවෝ

මෙම ඝාතනය තුළින් ඉස්මතු වන්නේ දේශපාලනික කුලී වැඩ වල යෙදෙමින්, ස්ථිර ඵලදායි ජීවිකාවක් නැති මෙම තරුණයා ඇතුළු තවත් බොහෝ තරුණ තරුණියන්ගේ ජීවිත තුළ ඇති තවත් එක් කටුක යථාර්තයකි. එම යථාර්තයට ඔවුන් කවදා හෝ සිය දේශපාලනික සනුහරෙන් ඉවත් වූ විට මුහුණ දිය යුතු ය. එම කටුක යථාර්තය විවිධ අයට විවිධ ලෙසින් පැමිණෙයි. ශ්‍රී ලාංකික දේශපාලනික වංශ කතාවෙහි පාදසටහන් වූ මෙවැනි පුද්ගලයන් බොහෝමයකට අවසානයේදී දේශපාලන කටයුතු වලින් සමුගත් පසු ව උරුම වන්නේ අමිහිරි දෛවයකි.

මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තව දුරටත් නොවීමට වගබලාගන්නට නම් මෙම පුද්ගලයා වැනි දේශපාලනික කුලී වැඩ වල නියැළෙන තරුණ ප්‍රජාව බිහිවන්නට බලපාන හේතු පිළිබඳ ව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු ය. එවැනි තරුණ තරුණියන් මෙවැනි ආන්දෝලාත්මක දේශපාලනික කුළී වැඩ වල නියැළීමට පොළඹවන සමාජ-දේශපාලනික සහ ආර්ථික හේතුන් වැඩි දුරටත් අධ්‍යයනය විය යුතු ය. එසේ නොවුවහොත් අනාගතයේදී මෙවැනි පහළ මට්ටමේ දේශපාලනික කුලී වැඩකරුවන්ගේ ප්‍රජාව තවත් වැඩි වනු ඇත. රටක තාරුණ්‍යය අශිෂ්ට ප්‍රාථමික දේශපාලනික සන්දර්ශන වල ගොදුරක් නොවිය යුතු ය.

පසුවදන

මෑත කාල පරිච්ඡේදයෙහි මෙවැනි ඝාතන වාර්තාවීමෙහි යම් ඉහළ යාමක් ලේඛකයා හට නිරීක්ෂණය වුණි. මෙම අපරාධ හේතුවෙන් අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමෙහි ආයතන පිළිබඳව මහජන විශ්වාසය පළුදු වීමක් සිදු වී ඇත. විවිධ පාතාල සාමාජිකයන් සහ අපරාධකරුවන් හට රිසි සේ කටයුතු කිරීමට ඉඩකඩ ලැබෙන පරිසරයක් නිර්මාණය නොවීමට නීතියේ බලධාරීන් හට බාර ය. එමෙන්ම අපරාධ වාර්තා වීම ඉහළ යෑම ආයුද පෙන්වීමෙහි ජවනිකා යළි ඇරඹීමට හේතුවක් නොවිය යුතු ය. මෙරට නීතියෙහි ආධිපත්‍යය රැකීමට රජය කෙතරම් කැප වී සිටිනවාද යන්න මෙම සිද්ධි සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා අදාළ අමාත්‍යංශ විසින් ගන්නා තීරණ සහ නීතිය ක්‍රියාත්මක වීමෙහි ආකාරය තුළින් පිළිබිඹු වනු ඇත. අදාළ දේශපාලනික ක්‍රියාකාරියා ගේ ඝාතනයට යුක්තිය ලැබිය යුතු ය. එමෙන් ම එම පුද්ගලයා විසින් කරන ලද යැයි චෝදනා ලැබූ නීති විරෝධි කටයුතු සම්බන්ධයෙන් ද සාධාරණ විමර්ශනයක් තිබිය යුතු ය. නීතියෙහි ආධිපත්‍යය යනු සමානාත්වතාවය යි.

Comments

Popular posts from this blog

ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය