ස්වයං බෝම්බකරුවන් බිහිවන්නෙ කෙසේ ද?
![]() |
Photo courtesy: Wikipedia |
මෙම ලිපියට පාදක වූ කාරණය නම් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවෙ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙ කිංස්බරි හෝටලයට එල්ල කෙරූ බෝම්බ ප්‍රහාරය සහ බෝම්බ කරු පිළිබඳව ලැබූ අධිකරණ තීන්දුව යි. මෙම තීන්දුව එක්තරා විදිහකට නොයෙකුත් මතභේද හට තුඩු දුන් එක කි. එනම් එම බෝම්බකරු ස්වයං බෝම්බකරුවෙක් ලෙස අධිකරණය තීන්දු දුන්නා යැයි පළ වූ ප්‍රවෘත්ති නිසා ය.බැලූ බැල්මට මෙය අදාළ සංවිධාන වරදින් මුදවාගැනීම උදෙසා දුන් තීන්දුවක් ලෙස පෙනෙන නමුත් මෙහි සත්‍ය ස්වභාවය මීට වඩා සංකීර්ණ එකක් වන්නට පුළුවන. මෙම ලිපියේ සඳහන් හේතු කාරණා මෙම තීන්දුවට බලපා ඇති බව අනුමාන කෙරුන ද එය එසේම වේ යැයි ලෙඛකයා සඳහන් නොකරයි.
සෛල පද්ධතිය (Clandestine cell system)
සෛල පද්ධතිය යනු යම්කිසි සංවිධානයක ක්‍රියාකාරීන් කුඩා, ස්වාධීන කණ්ඩායම් හට බෙදීමේ ක්‍රමවේදයයි. මෙම ක්‍රමවේදය අනුගමනය කරන සංවිධානයක බලය විමධ්‍යගත වීම නිසා එම සංවිධානයේ ඉහළ පෙළේ නායකත්වයේ සහ වෙනත් කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම අපහසු ය. මන්ද යත් එක කණ්ඩායමක් හට ලැබෙන්නෙ සීමිත තොරතුරු ප්‍රමාණයක් සහ කුඩා පිරිසකි. මෙම නිසා යම්කිසි හේතුවක් මත මෙම ක්‍රමවේදය අනුගමනය කරන සංවිධානයක් හට එම සංවිධානයේ යම්කිසි කණ්ඩායමක (cell) කටයුත්තක වගකීම මුළුමනින්ම පැටවීම අපහසු ය. මෙම ක්‍රමවේදය ත්‍රස්තවාදී සංවිධාන, කැරලි කණ්ඩායම්, බුද්ධි අංශ වැනි සංවිධාන නිතර අනුගමනය කරයි.සෛල පද්ධතිය මඟින් සංවිධානයක පාලන බලය විමධ්‍යගත වේ. මෙමඟින් කුඩා කණ්ඩායම් හට වැඩි ස්වාධීනත්වයක් ලැබෙන අතර ප්‍රධාන නායකත්වය යම්කිසි අර්බුදයකට ලක් වුවත් එම කණ්ඩායම් හට තම කටයුතු කරගෙන යා හැකි ය.
සෛල පද්ධතියේ ඉතිහාසය විසිවන සියවසේ මුල් භාගය තෙක් දිව යයි. අයර්ලන්ත බෙදුම්වාදී හමුදා සහ කැරලි කණ්ඩායම් සහ නාසිවාදී පාලනයට එරෙහිව සටන් වැදුණු ප්‍රංශ කැරලි සංවිධාන මෙම පද්ධතිය ප්‍රථම වරට ඵලදායි ලෙස යොදාගත් පාර්ශව ලෙස ප්‍රසිද්ධියේ සැළකේ. කැරලි කණ්ඩායම් පමණක් නොව බුද්ධි අංශ ඒකක, හමුදාමය විශේෂ මෙහෙයුම් ඒකක ද මෙම පද්ධතිය අනුගමනය කර ඇති බවට සාක්ෂි තිබේ. වඩාත් ප්‍රසිද්ධ වූ උදාහරණ වන්නේ ඇමෙරිකානු බුද්ධි අංශ සහ විශේෂ මෙහෙයුම් ඒකක කොම්යුනිස්ට් පාලන සහ ගරිල්ලා කණ්ඩායම් මර්ධනය උදෙසා මෙම පද්ධතිය ඔස්සේ සංවිධානය වී ක්‍රියාත්මක වීම ය.
සෛල පද්ධතියක විවිධ සෛල නොහොත් කණ්ඩායම් ඇත. සෛල පද්ධතියක සම්මත ව්‍යුහයක් නැත. විවිධ සංවිධාන විවිධාකාරයෙන් තම අවශ්‍යතාවයන් සලකා සෛල ව්‍යුහයන් නිර්මාණය කරති. සෛල පද්ධති වල ඉතිහාසය ගත් කළ පොදු සෛල වර්ගයන් කිහිපයක් කිහිපයක් හැඳින්විය හැක.
1) ක්‍රියාකාරී සෛලය (Operational Cell)
යම් කිසි සංවිධානයක් විසින් සැලැස් වු මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ මෙම සෛලයයි. බොහෝ විට මෙම සෛලයේ සාමාජිකයන් මෙහෙයුම් සිදු කරන්නේ යම්කිසි ප්‍රදේශයක ය. ශ්‍රී ලංකාවේ ද තව්හීද් ජමාත් සංවිධානයේ සන්නද්ධ කල්ලි විවිධ ප්‍රදේශ වලින් අත් අඩංගුවට ගැනීමෙන් අනුමාන කළ හැක්කේ එම කල්ලි ද මෙම ගණයට අයත් බව ය. ඇතැම් සෛල තනි-සාමාජික ඒවා (Lone wolf) වේ. මෙවැනි සෛලයක කටයුතු වල වගකීම සංවිධානාත්මක පිරිසකට ලබා දීමට සාක්ෂි අඩු බැවින් බලධාරීන් බොහෝ දුරට සෛලයේ සාමාජිකයාට එරෙහිව චෝදනා ගොනු කරන්නේ තනි ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ තනි පුද්ගලයෙක් ලෙසට ය.
2) සහකාරී සෛලය (Infrastructure/Support cell)
මෙම සෛලය මඟින් කරන්නේ ක්‍රියාකාරී සෛල හට අවි ආයුධ, තොරතුරු, ලේඛන වැනි දෑ සැපයීම ය. බුද්ධි අංශ වැනි සංවිධාන මෙම කාර්යය සඳහා වෙනම සංවිධාන පිහිටුවා ඇත.
සෛල පද්ධතිය සහ ඉස්ලාමික ත්‍රස්තවාදය
සෛල පද්ධතිය අන්තවාදී ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධාන විසින් තම පිරිස් සහ කටයුතු සංවිධානය කිරීම උදෙසා සුලභව යොදාගන්නා ක්‍රමවේදයකි. ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධාන අතරින් විශාලතම සංවිධානය වන අල් කයිඩා ත්‍රස්තවාදී සංවිධානය ලොව පුරා විහිදී ඇති තම ත්‍රස්ත සංවිධාන ජාලය පවත්වාගෙන යන්නෙ මෙම සෛල පද්ධතිය යොදාගෙන ය. විවිධ රටවල් වලට විවිධ සෛල ද, එම රටවල් වල ප්‍රදේශ වලට තව අනු සෛල ද යොදාගෙන මොවුන් කටයුතු කරන බවට උදාහරණ ඇත. එක් සෛලයක් හෝ කණ්ඩායමක් තවත් සෛලයක් සමඟ අවශ්‍ය තොරතුරු පමණක් හුවමාරු කරගන්නා අතර බොහෝ විට ඔවුනොවුන් අඳුරන්නෙ නැත. මෙලෙස තොරතුරු සෛලයෙන් හෝ කණ්ඩායමෙන් කණ්ඩායමට වෙන් වෙන් ව කොටස් වශයෙන් සැපයීම (Compartmentalization of information) මඟින් යම් කිසි ත්‍රස්ත මෙහෙයුමකට සම්බන්ධ ව තොරතුරු අනාවරණය කළ හැක්කේ සීමීත ප්‍රමාණයකින් ය. සම්පූර්ණ විස්තර ලබාගැනීමට නම් ආරක්ෂක අංශ හට ත්‍රස්තයන්ගේ සෛල ජාලය පිළිබඳ ව මනා දැනුමක් තිබිය යුතු ය.
ඉස්ලාමික අන්තවාදී (වහබිවාදී) ත්‍රස්තවාදයේ මෙතෙක් කල් බිහි වූ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය වන අයිසිස් (ISIS/ISIL) සංවිධානය ද මෙම සෛල පද්ධතිය යොදාගන්නා බවට සාක්ෂි ඇත. මීට හොඳම උදාහරණය වන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ක්‍රියාත්මක වූ අයිසිස් කණ්ඩායමයි. මෙම කණ්ඩායම විසින් 2015 ප්‍රංශයේ පැරිස් නුවරට සහ බ්‍රසල්ස් නුවරට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන ලදී. අයිසිස් සංවිධානය සමඟ සමීප සම්බන්ධතා පවත්වන සංවිධානයක් වන තව්හීද් ජමාත් සංවිධානය මෙලෙස තම ත්‍රස්තවාදී කණ්ඩායම් සංවිධානය කරන්නට ඇති බව අනුමාන කළ හැක. මේ නිසා තම සංවිධානයේ සාමාජිකයන් හසු වූ විට තම සංවිධානය ඊට සම්බන්ධයි යැයි බලධාරීන් හට ඔප්පු කිරීමට අපහසු ය.
සෛල පද්ධතිය නැසිය හැක්කේ කෙසේ ද?
සෛල පද්ධතිය යොදාගන්නා සංවිධානයක කණ්ඩායම් සහ කල්ලි නීතියේ රැහැනට ගෙන හැකි නමුත් එහි ප්‍රධාන නායකත්වය මර්දනය කිරීම පහසු කටයුත්තක් නොවේ. විවිධ සෛල හා එහි ඇති සම්බන්ධතා අවබෝධ කරගැනීම සියුම් ලෙස කළ යුතු භාරදූර කටයුත්තකි. එමෙන්ම මෙම සෛල ජාලය නිරාවරණය කිරීම සහ ඉහළ නායකත්වය අතර ඇති සම්බන්ධතා අවබෝධය කිරීම සංකීර්ණ ක්‍රියාවලියකි. මෑතකදී හතු පිපෙන්නාක් මෙන් ත්‍රස්තවාදී සෛල ආරක්ෂක අංශ වලට හසු වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ක්‍රියාත්මක වූ නිසා නොව වසර ගණනක් තිස්සේ ත්‍රස්තවාදී ජාලය පිළිබඳ තොරතුරු ලබාගැනීමෙන් සහ අධ්‍යයනය කිරීමෙන් ය.
සෛල පද්ධතිය අනුගමනය කරන සංවිධාන නීතියේ රැහැනට හසු කිරීමට නිසි ක්‍රමවේදයක් නැත. සංවිධානයේ ක්‍රියාකාරි ස්වභාවය, අරමුදල්, අවි ආයුධ භාවිතය, ඔවුන් ක්‍රියාත්මක වන පෙදෙසේ වාතාවරණය වැනි කරුණු රාශියක් මත සෛල පද්ධතියක් මර්දනය කිරීමේ ක්‍රියාමාර්ග වෙනස් වේ. කෙසේ නමුත් තව්හීද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ කල්ලි පිළිබඳව හසල දැනුමක් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ හට ඇති බවට මෑතකදී කෙරුණු අත් අඩංගුවට ගැනීම් සහ වෙනත් මෙහෙයුම් පිළිබඳ පළ වූ පුවත් වලින් අනාවරණය වේ.මෙවැනි ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රති-ත්‍රස්තවාදය (Counter terrorism) පිළිබඳ මනා අවබෝධයක් ඇති වෘත්තිකයන් ශ්‍රී ලංකාවෙ ආරක්ෂක අංශ තුළ ඇති බවට සැකයක් නැත. කෙසේ නමුත් මෙම ආරක්ෂක අංශ වල මෙහෙයුම් සාර්ථක වීමට නම් ඊට සරිලන දේශපාලන පසුබිමක් සැකසීම වැදගත් ය.
Comments
Post a Comment