හිඟන්නාගේ තුවාලය
වසර දෙක තුනක් පාසා ශ්‍රී ලාංකික රජය ජාත්‍යන්තර වශයෙන් නිතර මුහුණ දෙන ගැටලුවක් වන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කරන යුධ අපරාධ චෝදනා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සහ ජාතික සංහිඳියාව පිළිබඳ යෝජනාවන් හට මුහුණ දිය යුත්තේ කෙසේ ද යන්න ය. මෙලෙස ගෙනෙන යෝජනා පිටුපස දේශපාලන අරමුණු නැතිවා නොවේ. එනමුත් එක්සත් ජාතීන්ගේ සංගමය ලෝකයේ බොහෝ රටවල් සාමාජිකත්වය දරන, විවිධ රටවල් අතර බොහෝ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති වීමට මග පෑදූ සංවිධානයකි. එවැනි සංවිධානයක ශ්‍රී ලංකාවේ ස්වරූපය රැකෙනා සහ වැඩි දියුණු වන ආකාරයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ පරම වගකීම කි.එක්සත් ජාතීන්ගේ සංගමයේ දේශපාලනික බල තුලනය කුමක් වුවත් ස්වාධීන රාජ්‍යයක් වශයෙන් තම ස්වෛරීභාවය රැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලාංකික නියෝජිතයන් කටයුතු කළ යුතු ය.මෙතෙක් කල් එය සිදු වී ඇත් ද යන්න ගැටලුවකි. හතරවැනි ඊළාම් යුද්ධය ආරම්භයේදී ගෝලීය ද්‍රවිඩ සංසඳයට කොටි සංවිධානය යුරෝපා සංවිධානය විසින් තහනම් කිරීමට ඒත්තු ගැන්වීමට හැකි වූ තරම් දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයන් මෙරට සේවය කොට ඇත. සිවිල් යුද්ධයේ අවසානයෙන් පසුව එවැනි රාජ්‍යතාන්ත්‍රික සේවයක් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංගමයේ පැවැත් වූ මානව හිමිකම් සැසිවාරයේ දී නියෝජනය කළ ද යන්න ගැටලුවකි.
හිඟන්නාගේ තුවාලය මෙන් මෙම අර්බුදය නිසි ලෙස නිරාකරණය නොකොට ජාතිකවාදී ඡන්ද පදනම පිනවීම උදෙසා විදෙස් රටවල් සමඟ ගැටුම් ඇති කරගන්නා ස්වභාවයක් මවා පෙන්වා තව දුරටත් මෙම අර්බුදය චීනයේ සහ රුසියාවේ සහයෙන් මඟහැරවා යෑම දීර්ඝ කාලීන භූ දේශපාලනික ගැටලු ඇති කරන්නට හේතු වනු ඇත. ගමේ චණ්ඩි මෙන් ජාත්‍යන්තරය ඉදිරියේ හැසිරෙන රාජ්‍යතාන්ත්‍රිකයන් ගෙන් ඵලක් නැත. රටේ අනාගතය පිළිබඳව මනා අවබෝධයෙන් සිටිනා නායකයකු විසින් ගත යුතු මීළඟ පියවර වන්නේ ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික යාන්ත්‍රණයක් ඇති කොට මෙම යෝජනා වලට නිසි ලෙස පිළිතුරු සපයා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය රැකගැනීම ය.
Comments
Post a Comment