සුපර්මෑන් සහ සමාජ මාධ්‍ය පුරෝගාමියෝ


 

ෆ්‍රීඩ්‍රික් නීට්ෂ (Friedrich Nietzsche) යනු 19 වන සියවස තුළ ජර්මනියේ විසූ දාර්ශනිකයෙකි. ඔහු විසින් රචිත Thus Spoke Zarathustra නම් කෘතිය අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධත්වයට පත් වූ එකකි. ආගමික සදාචාරය සහ ආධ්‍යාත්මිකතාවය (විශේෂයෙන්ම ක්‍රිස්තියානි සදාචාරය ) වර්තමාන සමාජය හට ගැළපෙන්නේ නැති බවත්, වඩාත් යාවත්කාලීන වූ  සදාචාර පද්ධතියක් සමාජයට අවැසි යැයි ඔහු මෙම කෘතිය තුළින් තර්ක කරයි. "දෙවියන් මිය ගොස් ඇත. අප විසින් ඔහුව ඝාතනය කරන ලදී." යනුවෙන් ප්‍රකාශ කරන නීට්ෂ නූතන සමාජය තමන් ලබාගත් තාක්ෂණික දියුණුව වැනි දේවල් නිසා දෙවියන්ගේ වැදගත්කම කෙමෙන් වියැකී ගොස් ඇති බව ව්‍යංගයෙන් අදහස් කරයි. 

මෙම කෘතිය තුළින් නීට්ෂ තවත් සංකල්පයක් හඳුන්වා දෙයි. ජර්මන් බසින් ඌබර්මෙන්ශ් යැයි හඳුන්වන මෙම සංකල්පය ආසන්න වශයෙන්  "සුපර්මෑන්" යන ඉංග්‍රීසි පදයට පරිවර්තනය කළ හැක. නීට්ෂ විසින් හඳුන්වන  මෙම සුපර්මෑන් සංකල්පයෙන් සමාජයේ සුවිශේෂී පෞරුෂයක්, බලයක් හිමි චරිතයක් අදහස් කරයි. නීට්ෂ "Thus Spoke Zarathustra" කෘතිය තුළින් සුපිරි මිනිසාගේ චරිතය සමාජයේ සදාචාරාත්මක රාමුව මෙන්ම විවිධ අරමුණු නිර්මාණය කිරීමට දායක වන චරිතයක් ලෙස හඳුන්වයි.සරලව ගතහොත් සමාජයක අදහස් සහ මතවාද වෙනස් කරන්නට සාපේක්ෂව සුවිශේෂී හැකියාවක් ඇති පුද්ගලයෙකු සුපිරි මිනිසෙකු ලෙස හැඳින්විය හැක. කිනම් මතවාදයක් හෝ විශ්වාසයක් වෙත සමාජයක දිශානතිය වෙනස් කරන්නට මොවුනට හැකියාවක් ඇත. නීට්ෂ තම කෘතිය තුළින් තව දුරටත් අදහස් කරන්නේ ක්‍රිස්තියානි ආගමික සදාචාරය යල් පැන ගිය කලෙක බටහිර සමාජය ශුන්‍යවාදී සාමාජයක් නොවෙන්නට ඉඩ දී ඔවුනට නව අරුතක්, නව සදාචාරාත්මක රාමුවක් නිර්මාණය කරන්නට ඌබර්මෙන්ශ් ලා හට වගකීමක් පැවරී ඇති බවයි. තව ද, එතනින් නොනැවතී, සමාජය එක තැන පල් නොවී නව සාධනීය අරමුණු හඹා යන්නට මඟ පෙන්වීමට සුපිරි මිනිසුන් දිගටම බිහිවිය යුතු බව ඔහු තවදුරටත් තර්ක කරයි. 

වර්තමානයේ කලාකරුවන්, ගුරුවරුන්, මාධ්‍යවේදීන් වැනි විවිධ හේතූන් මත සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධත්වයට පත්ව ඇති පුද්ගලයන් ඇත. විවිධ පාර්ශව විවිධ වෙළඳ ප්‍රචාරක කටයුතු, දේශපාලනික ව්‍යාපාර වල ප්‍රචාරක කටයුතු වැනි දෑ සඳහා එවැනි පුද්ගලයන් නිතර සහභාගී කරගන්නේ සමාජ මාධ්‍යය තුළින් ඔවුන් වටා එක් රොක් වී ඇති නොයෙක් ගණයේ සහෘදයන් සහ අනුගාමිකයන් පිරිස නිසා ය. ජාතිකවාදය, මාක්ස්වාදය වැනි නොයෙකුත් මතවාද සාධනීය ලෙස සමාජ ගත කිරීමට මෙවැනි පුද්ගලයන් හට සාපේක්ෂව වැඩි හැකියාවක් ඇත. ඔවුනට ප්‍රබල මතවාදී බලයක් ඇත. සමාජයක යම් කිසි ජන කොට්ඨාසයක ( නාගරික/ග්‍රාමීය තරුණ ප්‍රජාව වැනි ) චින්තන රටාව ද, ඉන් පසුව ඔවුන් විවිධ විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ද වෙනස් කිරීමට මෙම දැවැන්ත සමාජ මාධ්‍ය චරිත හට හැකියාවක් ඇත. ඇතමුන් ඉදිරිපත් කරන ඇතැම් අදහස් වර්තමාන සමාජයේ වත් පිළිවෙත් සැලකූ විට ඒවා ඉතා නොගැළපෙන, සමාජ උන්නතිය උදෙසා වැදගත් නොවන ඒවා විය හැකි ය. එමෙන්ම සමාජ විරෝධයක් වුව ද ජනිත කරවීමට ඇතම් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය චින්තකයන් හට හැකියාවක් ඇත.

සමාජය තුළ ප්‍රගතියක් මෙන්ම අගතියක් ඇති කිරීමට වර්තමානයේ නොයෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයන් ඇත. ඔවුන්ගේ අදහස් තුළින් පමණක් එසේ කළ හැක. සමාජ අගතියන් ඇති කරනවා යැයි හඳුන්වන පුද්ගලයන් හට පෞද්ගලික මට්ටමෙන් විවේචන, අපහාස එල්ල කොට ඔවුන් ගෙන් සමාජයට වෙන බලපෑම යම් තාක් දුරට වැළැක්විය හැකි නමුත් එය යහපත් ප්‍රතිඵල වලට වඩා හානිදායි ප්‍රතිඵල ගෙන දිය හැකි ක්‍රියාමාර්ගයකි. ඔවුන්ගේ මතවාද තාර්කිකව සංවාදයට ලක් කරමින් ඒවා විවේචනය කර බැහැර කරන්නට හැක. එලෙසම එවැනි හානිදායි පුද්ගලයන්ගේ සමාජ බලපෑමට අකුල් හෙළීමට ඔවුන් ට එරෙහිව සුපිරි මිනිසුන් බිහි විය යුතු ය. ඔවුන් එක් රොක් කරගන්නා පිරිසට සමාන පිරිසක් තමන් වටා ද එක් රොක් කරගත හැකි දැවැන්ත චරිත බිහි විය යුතු ය. එය ද සංකීර්ණ ක්‍රියාවලියකි. එනමුත් අහිතකර සමාජ බලපෑම් ඇතිකරන අදහස් සමාජගත කරනා ප්‍රසිද්ධ චරිත වල සමාජ බලපෑම් අවම කරගත හැකි සාර්ථකම ක්‍රමය ලෙස ලේඛකයා දකින්නේ මෙය ය.

වැඩිදුර කියවීම උදෙසා:

Britannica, The Editors of Encyclopaedia. "Thus Spake Zarathustra". Encyclopedia Britannica, 27 Mar. 2020, https://www.britannica.com/topic/Thus-Spake-Zarathustra. Accessed 12 August 2021.

Comments

Popular posts from this blog

ගුරුවරයා යනු දෙවියෙක්(ද?)

ෆෙඩරල්වාදය සහ බෙදුම්වාදය

කූඹියෝ සහ පාදසටහන්