බදු ඉහළ දැමීම සහ ආර්ථික දියුණුව
රජය අයි.එම්.එෆ් සංවිධානය හට තමන් මූල්‍ය ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට කැප වී ඇති බව ඒත්තු ගැන්වීම උදෙසා මෙම මස (2022 ඔක්තෝබර්) ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු ඉහළ දැමීමට රජය තීරණය කිරීම පිළිබඳව විවිධ මත ලෙඛකයාට නිරීක්ෂණය වුණි. ඉන් එක මතයක් නම් සංවර්ධිත රටවල ද ශ්‍රී ලංකාවේ පවතිනවා මෙන් ඉහළ බදු ඇති බවත්, ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දියුණු කිරීමට සහ රාජ්‍ය පිරිවැය පරතරය අවම කිරීමට සංවර්ධිත රටවල් වල මෙන් ඉහළ ආදායම් බදු පැනවිය යුතු බව ය.
බැලූ බැල්මට මෙම තර්කය නිවැරදි වන්නට පුළුවන. එනමුත් මෙම තර්කය මඟින් සැලකිල්ලට නොගන්නා කාරණා කිහිපයක් ඇත. බදු වල පදනම වී ඇත්තේ රජයක් පවත්වා ගැනීම සහ රජය විසින් ලබා දෙන සේවාවන් වල පිරිවැය දැරීමට අවශ්‍ය ආදායමක් සකසා ගැනීම ය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට මූලික් හේතුවක් වී ඇත්තේ රජයේ ආදායම් සහ වියදම් පරතරය යි.තම වියදම් පිරිමැසීමට තරම් ආදායමක් නොලැබෙන හේතුවෙන් ශ්‍රී ලංකාවේ රජය තම පිරිවැය ගෙවීමට ණය ලබාගනියි. ඇතැමුන් තර්ක කරන ආකාරයට ශ්‍රී ලංකාවේ රජය හට ඉතා විශාල ආදායම් හිඟයක් ඇත්තේ මෙරට ජනතාව නිසි ලෙස බදු නො ගෙවන නිසා ය. මෙය යම්තාක් දුරට සත්‍ය වුව ද, සම්පූර්ණ සත්‍යයම නොවේ. ආදායම් බදු වැඩි කිරීම පිළිබඳ ලේඛක මතය නම් එය ශ්‍රී ලාංකවෙහි ආර්ථික අර්බුදයෙන් තාවකාලිකව මිදීමට ඉදිරිපත් කරන, මෙරට ජනතාවට තවත් පීඩා ගෙන දෙන පැලැස්තර විසඳුමක් බව ය.
ව්‍යාපාර නිදහස සහ බදු ආදායම්
පළමුවෙන්ම වටහාගත යුතු කාරණාව නම් ශ්‍රී ලංකාවෙහි ආර්ථික පද්ධතියේ ඇති දුබලතා ය. ඉතා ඉහළ ආදායම් බදු අය කරන සංවර්ධිත රටවල් තුල ඉතා ඉහළ ආර්ථික නිදහසක් ඇති වෙළඳපොළ ආර්ථික පවතියි. මෙයට වඩා උචිත උදාහරණයක් වන්නේ ඉහළ ආදායම් බදු මඟින් ඉතා ගුණාත්මක පොදු සේවා සහ සුබසාධන පද්ධති නඩත්තු කරනා නෝර්වේ, ස්වීඩන් වැනි ස්කැන්ඩිනේවියානු රටවල් ය. ආර්ථික නිදහස අතින් ඉතා පහළ මට්ටමක පවතින ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර බහුතරයක් ඉතා විශාල ලාභ ලබන්නේ නැති අතර පෞද්ගලික අංශයේ වුවද බහුතරයක් පිරිසකගේ වැටුප් අඩු අගයන් හි පවතින්නේ මේ නිසා ය. රටක ආර්ථිකයක පණ නල වන්නේ එම රටේ ව්‍යාපාර ය. ව්‍යාපාර අඩුවෙන් ආදායම් ලබන විට රජයක ද ආදායම් පහත වැටෙයි. මෙරට ආර්ථික පද්ධතියේ වෙනස්කම් කෙටි කාලීනව කළ නොහැක. ආර්ථික පද්ධතිය ව්‍යාපාර කිරීමට වඩාත් සුදුසු වන ආකාරයට නීති පද්ධතිය යාවත්කාලීන විය යුතු අතර ශ්‍රී ලංකාව නිදහස් වෙළඳ ගිවිසුම් හට ද එළැඹිය යුතු ය. මෙරට අපනයන ආදායම් සහ විදෙස් ආයෝජන වැඩි කිරීම උදෙසා ගත හැකි ආර්ථික ප්‍රතිපත්ති මොනවා දැයි තීරණය කොට ඒවා දියත් කළ යුතු ය. විදෙස් ආයෝජන ආකර්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ යල් පැන ගිය නීති බොහෝමයක් අක්‍රීය වන, ව්‍යාපාර කිරීමට වඩා පුළුල් නිදහසක් ඇති විශේෂ ආර්ථික කලාප ස්ථාපිත කිරීම ඉතා ඵලදායි ක්‍රියාමාර්ගයකි.
විශාල රජය සහ රාජ්‍ය පිරිවැය
ශ්‍රී ලංකාවේ ඉතා විශාල රාජ්‍ය පිරිවැයට හේතු වන අනිත් කාරණය නම් නඩත්තු කිරීමට විශාල පිරිවැයක් අවශ්‍ය රජයක් පැවතීම ය. කැබිනට් අමාත්‍යංශ විශාල ගණනක් ස්ථාපිත කිරීම, විශාල රාජ්‍ය කාර්යාල ප්‍රමාණයක් පැවතීම, පාඩු ලබන රාජ්‍ය සංස්ථා විශාල ගණනක් පැවතීම සහ බොහෝ ආයතන ස්වාධීන විගණනයට ලක් නොවීම වැනි ලක්ෂණ බොහෝමයක් රජයෙහි අතිශය අකාර්යෂකම බව සහ දූෂිත බව පෙන්නුම් කරයි. ශ්‍රී ලංකාව තුළ රජය විසින් පවත්වාගෙන යන ව්‍යාපාර ආයතන (සංස්ථා සහ වෙනත් ආයතන ) 500 ඉක්මවයි. මෙය බොහෝ රටවල් වලට වඩා ඉතා ඉහළ අගයකි. සැබැවින්ම රජයකට මෙතරම් සංස්ථා තිබීම අවශ්‍ය ද යන්න සලකා බැලිය යුතු ය. උපායමාර්ගික වශයෙන් වැදගත් වන සම්පත් සඳහා රාජ්‍ය ව්‍යාපාර සුළු ප්‍රමාණයක් පවත්වා ගත හැකි අතර එම ව්‍යාපාර ද රජය හිමිකාරිත්වය දරන නමුත් පරිපාලනය පෞද්ගලික අංශයෙන් වන ආකාරයට ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පරිපාලනය සඳහා වැය වෙන පිරිවැය අවම කරගත හැකි ය.
බදු අය කරන ක්‍රමය
ඉහත කරුණු සියල්ල සැලකූ පසුව බදු අයකිරීමේදී වෙනස් විය යුතු දෑ කිහිපයක් ඇත. ඉන් එකක් නම් ශ්‍රී ලංකාවෙහි බදු පදනම ය. සීමිත පිරිසක් මත පමණක් ආදායම් බදු පැනවීම තුළින් රජයේ වියදම් පිනවීමට ආදායමක් ලබාගත හැකි මුත් මෙයින් වන්නේ මෙම සීමිත පිරිස මඟින් විශාල බදු බරක් දැරීම මඟහැරීමට කටයුතු කිරීම ය. මෙම තත්වය අවම කිරීමට නම් විශාල පිරිසක් බදු ගෙවන ආකාරයට ආදායම් බදු ප්‍රතිශත ප්‍රතිව්‍යුහගත විය යුතු ය. මෙමඟින් එක් ආදායම් කාණ්ඩයකින් අය කරන බදු ප්‍රමාණය අවම කරගත හැකි අතර රජයේ ආදායම් අවශ්‍යතාවය ද සපුරාලිය හැක.
බදු පැහැරහැරීම් අවම කිරීමට නම් අවුරුදු 18ට වැඩි සියලු පුරවැසියෙක්ට ආදායම් වාර්තාවක් සැකසීම අනිවාර්ය කළ යුතු ය. ආදායම් වාර්තාවක් තිබෙන සෑම කෙනෙකුම බදු ගෙවීමට අවශ්‍ය වන්නේ නැත. ආදායම් වාර්තා විගනණය කොට සැසඳීම තුළින් බදු පැහැර හැරීම උදෙසා හෙළිදරව් නොකරන ලද ආදායම් සොයාගත හැකි ය.
ආදායම් බදු අයත් වන සෘජු බදු සහ භාණ්ඩ සහ සේවා සඳහා අය වන බදු වන වක්‍ර බදු අතර යම්කිසි අනුපාතයක් පවත්වා ගැනීම ද වැදගත් ය. සාමාන්‍යයෙන් රජයක බදු ආදායමෙන් 80%ක් සෘජු බදු සහ 20%ක් වක්‍ර බදු වන ආකාරයට බදු ප්‍රතිපත්තියක් සැකසීම ඵලදායි ලෙස සැලකිය හැක. ආර්ථික විද්‍යාවෙහි ලැෆර් චක්‍රය වැනි සිද්ධාන්ත තුළින් මතු කරන තර්ක වලට අනුව සෘජු හෝ වක්‍ර බදු සඳහා උපරිම අගයක් තිබිය යුතු ය. එම අගයට වැඩියෙන් බදු අයකිරීම සිදු වුවහොත් රජයේ බදු ආදායම් අඩු වනු ඇත. ශ්‍රී ලංකාවෙහි දළ දේෂීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම වැනි කාරණා රැසක් පදනම් කොටගෙන මෙම අගය නිර්ණය කළ යුතු ය.
සමාප්තිය
රජයට මූල්‍ය ස්ථාවරත්වය ස්ථාපිත කිරීමට නම් රාජ්‍ය පිරිවැය අවම කරගත යුතු වේ. රාජ්‍ය පිරිවැය අවම කිරීමට රාජ්‍ය ආයතන සහ සංස්ථා ප්‍රතිව්‍යුහගත විය යුතු ය. අත්‍යාවශ්‍ය සේවා සහ වෙනත් උපායමාර්ගික ව වැදගත් සේවා සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගත යුතු නමුත් එම ආයතන ද ප්‍රතිව්‍යුහගත කළ යුතු ය. රජයේ බදු ආදායම් ඉහළ දැමීමට නම් මෙරට ව්‍යාපාර කටයුතු වැඩි විය යුතු ය. එයට සරිලන ආර්ථික පසුබිමක් රජය විසින් සැකසිය යුතු ය. එමෙන්ම ශ්‍රී ලංකාවෙහි බදු අය කරන ක්‍රමවේදයෙහි ද වෙනස්කම් සිදු විය යුතු ය. සෘජු බදු බර එක් ආදායම් කාණ්ඩයක් මත පැටවීමෙන් හෝ වක්‍ර බදු ඉතා ඉහළ අගයන් වල දැමීමෙන් රජයට තම ආදායම් අවශ්‍යතා දීර්ඝ කාලීන ව තිරසාර ලෙස සපුරාගත හැකි නොවනු ඇත.
Comments
Post a Comment